මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම නොදුන්නොත් එදාට තමන් ඇතුඵ නඩය සෙංකෝලයද රැගෙන පාර්ලිමේන්තුව වටේ රිලේ දුවන බව හිටපු අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂක සාලින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කලේ පොල්පිතිගම , එගොඩගම පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාලින්ද දිසානායක මහතා මෙසේ ද පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න උවමනා වෙලා තිබුණා මෛත‍්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමාට. ඒක ගත්තේ කපටිකමෙන් , චංචාවෙන්. අපිට ආදරේ නිසාද ? නෑ. අපිට ආදරේ නිසා නෙවෙයි. අපි මේවා කෙලින් කතා කළා. මේවා කෙලින් කතාකරපු නිසා අපි මධ්‍යම කාරක සභාවෙන් එළියට විසිකරලා දැම්මා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවෙලා කාරණා තුනක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිද්ධ කළා. පළවෙනි එක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හීලෑ පක්ෂයක් බවට පත් කළා. දෙවැනි එක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කැඩුවා. තුන්වැනි එක ජාතික ආණ්ඩු සංකල්පයක් දාලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අරගෙන ගිහින් එක්සත් ජාතික පක්ෂයේ කරේ එල්ලූවා. ඔන්න මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරපු දේ. ඒක කරන්න තමයි පක්ෂයේ සභාපතිකම ගත්තේ.
දැන් මේ කට්ටිය කියනවා වැඩි ජන්ද අරගෙන දිනලා ආවත් මම අගමැතිකම දෙන්නේ පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ වලින් අහලලූ. එහෙම නීතියක් කොහෙද තියෙන්නේ ? එහෙම කරන්න දෙන්න බෑ. ඒ නිසා අපි වැඩි ඡන්ද ටික අරගෙන, වැඩි ආසන සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ විකාර කරන්න ආවොත් අපි පාරට බහින එක බහිනවා. තමන්නාන්සේලා දන්නවා, සෙංකෝලේ නැතුව පාර්ලිමේන්තුව පවත්වන්න බෑ. මහින්දට අගමැතිකම නොදී වෙන වෙන දේවල් කරන්න ආවොත් ටී. බී. ඒකනායකලා, සාලින්ද දිසානායකලා ඇතුඵ නඬේ සෙංකෝලෙත් අරගෙන පාර්ලිමේන්තුව වටේ රිලේ දුවනවා කියලා ආරංචි වුනොත් තමුන්නාන්සේලා පුදුම වෙන්න එපා. අපි ඒවට ඉඩදෙන්නේ නෑ. යැයි පැවසීය.