තම මවගේ හිසට පොල්ලකින් පහර දී තුවාල කර, නිවසින් පළාගොස් ගිය බව කියන මීගලෑව ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකුගේ නරක් වූ මළ සිරුර එම ප්රදේශයේ පිහිටි කෑලෑබද පෙදෙසක ඇති ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (09 දා) ප්රදේශවාසීන්ට හමු වී තිබේ.
සිය දිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැකකෙරෙන මෙම තරුණයා ඇත්තේ මීගලෑව, කුඩාකත්නෝරුව ප්රදේශයේ පදිංචි ආර්. සංජය මධුවන්ත රණසිංහ නැමැති අයෙකි.
පසුගිය ජූලි 22 වැනිදා සිය මව සමග ඇති කරගත් බහින්බස්වීමක් අතරතුරදී මෙම තරුණයා විසින් මවගේ හිසට පොල්ලකින් පහර දී තිබේ. එම පොලු පහරින් තුවාල ලැබූ මව ඇහැටුවැව ග්රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තත්වය බරපතලවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙම පහරදීමත් සමග නිවසින් පළාගොස් ඇති මෙම තරුණයා පිළිබදව සති තුනකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති අතර ඊයේ දිනයේදී දර සෙවීම සදහා කුඩාකත්නෝරුව වැව ඉස්මත්තේ පිහිටි කැලෑබද පෙදෙසට ගිය කාන්තාවන් පිරිසකට ගසක එල්ලෙමින් තිබූ මළසිරුර හමු වී ඇත. මළසිරුර සොයාගන්නා අවස්ථාව වන විට එය දැඩි ලෙස නරක් වී තිබූ අතර එක් පාදයක් සතුන් විසින් කා දමා තිබූ අයුරුද දැකගත හැකිවිය.
පවුලේ එකම දරුවා වන මෙම තරුණයා තම මව්පියන් සමග නිරන්තරයෙන් ආරවුල් ඇතිකරගෙන ඇති බවටත්, මීට මාස දහයකට පමණ පෙරදීත් ඔහු විසින් තම පියාට පිහියකින් ඇණ තුවාල සිදු කර ඇති නමුත් පුතුට ඇති ආදර නිසා මව්පියන් විසින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කරන්නට ඉදිරිපත් වී නැති බවද මෙම මරණය පිළිබදව පරීක්ෂණ පවත්වන මීගලෑව පොලිසිය කියයි.