බල්ලාගේ වැඩේ බූරුවා භාරගත්තා සේ තමන්ට කිසිසේත්ම අදාළ නොවන කරුණක් සම්බන්ධයෙන් කට පෑමට ගිය වයඹ පළාත් සභා මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ (එජනිස) වයඹ පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා මහතාගෙන් අද (06 දා) ද පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ලුණු ඇඹුල් ඇතිව අසාගත්තේය.
එමෙන්ම මාධ්‍යවේදීන් යනු කාලකණ්නි පිරිසක් ලෙසට හදුන්වමින් කළ අපහාසාත්මක ප්‍රකාශය ඉවත්කරගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාද අද පළාත් සභා රැස්වීමේදී පැවැසීය.
වයඹ පළාත් සභා රැස්වීමේ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ප්‍රකාශ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කළ වයඹ පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා මහතා (එ. ජා. ප) සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් පදනම් කරගනිමින් වයඹ පළාත් සභාව වාර්තාකිරීමේ නියුතු මාධ්‍යවේදීන් පසුගිය පෙබරවාරි මාසයේ සිට සභා රැස්වීම් වාර්තාකිරීමෙන් වැළැකී සිටින බවත්, එමගින් සභාව තුළ සිදුවන තොරතුරු මහජනතාව වෙත නොලැබීමේ තත්වයක් උදා වී ඇති බවද පැවසීය. මෙම තත්වය තුළ නවක මන්ත්‍රීවරුන් ලෙස තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් උල්ලංඝණයවීමක්ද සිදු වී ඇති බැවින් අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන මාධ්‍යවේදීන්ට නැවත සභාවට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසටද මොහාන් පෙරේරා මහතා සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගෙන් ඉල්ලා සිටියේය. සභාපතිවරයා විසින් එක් වාර්තාකාරිනියකට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබද තමන්ගේ විරුද්ධත්වයක් නැතත් අදාළ ප්‍රකාශය හරහා සෙසු මාධ්‍යවේදීන්ටද අපහාසයක් සිදු වී ඇති බැවින් හැන්සාඩ් වාර්තාවට ඇතුළත්ව ඇති එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසටද මොහාන් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක් වූ සභාපති ටිකිරි බණ්ඩා තමන් විසින් කළ ප්‍රකාශය පිළිබදව මීට පෙර අවස්ථාවකදී මාධ්‍යවේදීන් වෙත කණගාටුව ප්‍රකාශ කර ඇති බවත්, අදාල ප්‍රකාශය ඉල්ලා අස්කරගත්හොත් එය තමන් විසින් පවරා ඇති නඩුව ඉල්ලා අස්කරගත්තා හා සමාන වන බැවින් තමන් එම තත්වයට පත්නොවන බවද පැවසීය. එබැවින් කණගාටුව ප්‍රකාශකිරීමට වඩා යමක් තමන්ට කළ නොහැකි බවද සභාපති ටිකිරි බණ්ඩා වැඩිදුරටත් පැවසීය.
මොහාන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂයේ සිට අවිනීත අයුරින් ඊට බාධා කළ වයඹ පළාත් සභා මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න විසින් සභාපති ටිකිරි බණ්ඩා වෙත අගනා සහයෝගයක් ලබාදෙනු පෙනිණි. වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂද මොහාන් පෙරේරා මහතාගේ අදහස් දැක්වීමට බාධාකළේය. එම අවස්ථාවේ සභාවේ සිටි කිසිදු පක්ෂ විපක්ෂ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු මොහාන් පෙරේරා මහතාට වචනයකින් හෝ සහය දැක්වීමට ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.
මොහාන් පෙරේරා මහතාගේ අදහස් දැක්වීම, චින්තක මායාදුන්නගේ හැසිරීම සහ ටිකිරි බණ්ඩාගේ ප්‍රතිචාරය දැක්වෙන වීඩියෝවන් පහත දැක්වෙයි.