Saturday, January 18, 2025

බීමතින් ගිලන් රිය පදවා ලොරියක හැප්පුවාට, වැල්ලව රෝහලේ ගිලන් රථ රියදුරු අත්අඩංගුවට.

Must read

wellawa_ambulance_driver

බීමතින් ගිලන් රථය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත වැල්ලව දිසා රෝහලේ රියදුරු ඊයේ (28 දා) අලුයම වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පෙරේදාට යෙදුණු පොසොන් පොහෝ දින රාත්‍රි 11.25 පමණ වැල්ලව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි කාන්තාවක් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් එම රෝහලේ ගිලන් රථයේ නංවා අදාල කාන්තාව කුරුණෑගල මහ රෝහල වෙත පිටත් කර යවා ඇත. සැකකාර ගිලන් රථ රියදුරු විසින් පදවා ඇති එම ගිලන් රථය තුළ, රෝගියාගේ භාරකරුවෙකු සහ තවත් රෝහල් සේවකයින් දෙදෙනෙකුද ගමන් කර තිබේ. කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ගිලන් රථය එහි රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී තිබේ.

අනතුරින් ගිලන් රථයේ හෝ ලොරි රථයේ සිටි කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, වාහන දෙකටම සුලු අලාභහානි පමණක් සිදු වී ඇත. වාහන දෙකට බරපතල හානි සිදුනොවීම හේතුවෙන් අනතුර පිළිබදව පොලිසියට පැමිණිලි නොකිරීමේ එකගත්වය මත රියදුරන් දෙදෙනා විසින් සිදුවීම සමාදානයකට පත්කරගෙන ඇත. නමුත් පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව වැල්ලව පොලිසියේ රථවාහන අංශ නිලධාරින් අදාල අනතුර පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව කුරුණෑගල රෝහල වෙත රෝගියා භාර දී ආපසු වැල්ලව දිසා රෝහල වෙත පැමිණි සැකකාර ගිලන් රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙතෙම ඇල්කොහොල් පරීක්ෂාවට ලක්කිරීමේදී සැකකරු බීමතින් සිටි බව අනාවරණය වී තිබේ.

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකකාර ගිලන් රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලව පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි, පොලිස් සැරයන් ( 54344) විමලසිරි බණ්ඩා සහ ( 8112 ) ලියනගේ යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article