Saturday, November 23, 2024

ප‍්‍රසිද්ධ තැන්වල දුම් බිව්වාට සහ අනුබල දුන්නාට නාරම්මල දහතුනකට 22500 දඩ.

Must read

narammala_smokingනාරම්මල නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ බවට සහ එවැනි ස්ථානවල දුම්පානය කිරීමට පහසුකම් සලසා දුන් බවට චෝදනා නගමින් නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි පුද්ගලයින් 13 දෙනෙකුට රුපියල් 22500 ක දඩ මුදලක් ගෙවන ලෙසට නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

නාරම්මල සහ ඒ අවට ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් 13 දෙනෙකුට මෙලෙස දඩ නියම වූ අතර, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ අයෙකුට රුපියල් 1500 බැගින් සහ එවැනි ස්ථානවල දුම්පානය කිරීම සදහා ඉඩ ලබාදුන් අයෙකුට රුපියල් 2000 බැගින් දඩ මුදල් නියම කළ මහේස්ත‍්‍රාත්වරයා අධිකරණය මග හැර ගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තුද නිකුත් කළේය.

පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා, නාරම්මල බස් නැවතුම්පොළ, සමූපකාරය, වාහන සේවා ස්ථාන, හෝටල් සහ සිල්ලර වෙළදසැල් වැනි ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කරමින් සිටියදී සහ ඒ සදහා පහසුකම් සපයා තිබියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත්, 2006 අංක 27 දරණ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරූ බවත් පැවසීය. ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීමෙන් දුම්පානය කරන්නාට අමතරව ඒ අවට සිටින පුද්ගලයින්ද අක‍්‍රිය දුම්පානයට ලක්වීම හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්වන්නට ඉඩතිබීම පිළිබදව සලකා බලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද අමරවික‍්‍රම මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කීය.

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වයි. එන්. හේමසිරි මහත්මියගේ උපදෙස් මත, නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා විසින් ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article