Sunday, November 24, 2024

පිහි ඇනුම ගැන සාක්කි දෙන්න බැහැයි කී සමථ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග !

Must read

murder_updateආරවුලක් සමථයට පත්කිරීම සදහා කුරුණෑගල ඇත්කද විහාරයේදී රැස් වූ කුරුණෑගල සමථ මූල මණ්ඩලය හමුවට කැදවා සිටි පැමිණිලිකරුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා එදින රැස්වීමට පැමිණ සිටි සමථ මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකුට ඔක්තෝම්බර් මස 14 වැනිදා අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම පෙනී සිටින ලෙසට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ෆිලීෂියන් පෙරේරා මහතා නියෝග කළේය.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය 01 වැනිදා පැවැත් වූ අවස්ථාවේදීය.

එමෙන්ම එදින සමථ මණ්ඩල රැස්වීමට වාර්තා කළ සමථ මණ්ඩල සාමාජිකයින්ගේ නාම ලේඛණය පොලිසිය වෙත ලබාදෙන ලෙසට කුරුණෑගල සමථ මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම සියලු සාමාජිකයින්ට පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය.

ඇත්කද විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් තුළ සිදු වූ මෙම පිහි ඇණුමින් ජීවිතක්ෂයට පත්වූයේ අංක 153, විල්ගොඩවත්ත, කුරුණෑගල ලිපිනයේ පදිංචි ගමරාලලාගේ ජයසිංහ නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

ඔහුට පිහි ඇණුම සිදුකළ පුද්ගලයා අංක 154, විල්ගොඩවත්ත, කුරුණෑගල ලිපිනයේ පදිංචි මියගිය පුද්ගලයාගේ අසල්වැසියාවීමද විශේෂත්වයකි. මෙම පුද්ගලයින් දෙදෙනා අතර කලෙක පටන් බහින්බස්වීම්, බැණවැදීම් ඇතුලු ආරවුල් ඇති වී බවත් දෙපාර්ශ්වය විසින්ම ඒ පිළිබදව අවස්ථා ගණනාවකදී පොලිසියට පැමිණිලි කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරු විසින් තම නිවසට ගල් ගැසූ බව පවසමින් මිය ගොස් සිටින පුද්ගලයා විසින් මීට දින කිහිපයකට පෙර කුරුණෑගල පොලිසියට නැවත පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් කළ පැමිණිලි විභාගයේදී දෙපාර්ශ්වය සමථයකට පත්නොවීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර තිබූ බවද පොලිසිය කියයි. ඒ අනුව අදාල ආරවුල සමථයකට පත්කිරීම සදහා පසුගිය 01 වැනිදා ඇත්කද විහාරයේදී රැස් වූ කුරුණෑගල සමථ මූල මණ්ඩලය හමුවේ මෙම පුද්ගලයින් දෙදෙනා පෙනී සිට ඇත්තේ ඒ අනුවය.

සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටි සැකකරු පෙරවරු 9.30 ට පමණ සගවා සිටි පිහියක් එළියට ගෙන පැමිණිලිකරුගේ සිරුරේ කිහිප පොළකටම ඇණ තිබේ. පිහි ඇණුම සිදුකිරීමෙන් පසු පලායන්නට උත්සාහ කළ සැකකරු සමථ මණ්ඩලයට පැමිණි සිටි ජනතාව විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ. පිහි ඇණුම් කෑ පුද්ගලයාද කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඉන් ටික වේලාවකට පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ.

පිහි ඇණුම සිදුවීමෙන් පසුව සමථ මණ්ඩල සාමාජිකයින් විසින් එම ස්ථානයේදීම සිය සුපුරුදු රාජකාරියේ යෙදුණු අයුරු දැකගත හැකි වූ අතර පසුව එහි පැමිණි පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් සමථ මණ්ඩල සාමාජිකයින් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. අදාළ සිදුවීම සියැසින් දුටු බව කියන සමථ මණ්ඩල සාමාජිකයින් කිසිවෙකුත් ඒ පිළිබද පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීම නිසා එහි පැමිණ සිටි මිය ගිය පුද්ගලයාගේ පුත්‍රෙයකු සහ සමථ මණ්ඩල නිලධාරීන් අතර බහින්බස්වීමක්ද ඇති විය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිංලක බාලසූරිය මහතාගේ මෙහයවීමෙන් ඝාතනය පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article