Monday, November 18, 2024

ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන නොවේ.’ ‍‍‍ෆොන්සේකා උත්තර දෙයි.

Must read

ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යැයි ප්‍රකාශ කරමින් කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

හිටපු හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ,ප්‍රභාකරන් තමා ගරු කරන යුද නායකයෙක් බවත් හමුදාවට අසුවීමට පෙර ඔහුගේ පිස්තොලයෙන්ම වෙඩිතබා ගෙන ඇතැයි තමා විශ්වාස කරන බවත් ඉන්දියාවේ ද හින්දු පුවත්පතට කරුණා අම්මාන් විසින් කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රභාකරන්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබා ගත්තා නම් පුංචි තුවාලයක් පමණක් තිබිය යුතු බව පෙන්වාදුන් ෆොන්සේකා මහතා මෝටාර් හෝ කාලතුවක්කු ප්‍රහාරයක කැබැල්ලක් වැදී හිසට බරපතළ හානි සිදුවී ඇති බවට‍ පෙනී යන බව ද කීවේය.

යුද ජයග්‍රහණයෙන් පසුව ප්‍රභාකරන්ගේ මිනිය හඳුනා ගැනීමට තමාගේ නියෝගය අනුව එම ස්ථානයට කරුණා අම්මාන් ගෙන ගිය බව ද හිටපු හමුදාපතිවරයා පැවැසීය.

යුද්ධය ජයග්‍රහණය කිරීමට කරුණා අම්මාගෙන් කිසිදු සහායක් නොලැබුණු බවත් , එල් ටී ටී ඊ යෙන් වෙන්වී සිටි මේ අයට ආරක්ෂාව ලබාදීමට යුද හමුදාව කටයුතු කළ බවත් යුද සමයේ දී බාහිර පාර්ශ්වයන් සමඟ සබඳතා පැවැත්වීමට ඔවුන්ට ඉඩක් නොලැබුණු බවත් ෆොන්සේකා මහතා අනාවරණය කළේය.

මේ රටේ මනුෂ්‍යයන් හැටියට ඔවුන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමේ අයිතිය ලබාදීමට යුද හමුදාව කටයුතු කළ බව ද දුරකතනයක්වත් ළඟ තබා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොදුන් බව ද එහෙම තත්ත්වයක දී ප්‍රභාකරන්ගේ මරණය ගැන ඔහු නොදන්නා දේ කියමින් දෙමළ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට උත්සාහයක නිරත වන බව ද සරත් ෆොන්සේකා මහතා කීය.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයකු බවට පත් කළ බව ද දකුණේ ජනතාව ඔහුව ගණන් නොගන්නා නිසා දැන් උතුරේ දෙමළ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට මේ ප්‍රකාශය හරහා උත්සාහ කරන් බව ද ‍ෆොන්සේකා මහතා කීය.

උපුටාගැනීම – දිණමින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article