Sunday, January 19, 2025

පළාත් සභාවේ ලෙඩේ සමූපකාරෙටත් බෝ වේ. වෙන්නප්පුව සමූපෙන් මැලේසියා සවාරියක් !!

Must read

cartoon_airplaneසේවක වැටුප් හා පහසුකම් වැඩි කිරීම පිළිබද වගේ වගක් නැති වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුලු මහ සභා නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් කාබාසිනියා කරමින් මැලේසියානු සවාරියක් සදහා සුදානම් වෙමින් සිටින බවට එහි සේවකයෝ චෝදනා කරති.

මේ වසරේ පැවැත්වීමට නියමිත සමූපකාර නිලවරණය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන බව කියන මෙම මැලේසියා සවාරියට වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාව නියෝජනය කරන 100 කට වැඩි සාමාජිකයින් පිරිසක් එක්වීමට නියමිත බවද වාර්තා වෙයි. රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් කාබාසිනියා කරමින් සුදානම් කෙරන මෙම සංචාරය වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්තීන්ට සම්පූරණයෙන්ම පටහැනි බවද සමූපකාර සේවකයෝ කියති.

මෙම මුදල සේවක සුභසාධනය සහ ආයතනය නගා සිටුවීම වෙනුවෙන් යෙදවීමට පුලුවන්කම තිබියදී සභාපතිවරයා හා සමුපකාර පරිපාලනය එක්ව මෙම නාස්තිකාර සංචාරය සූදානම් කරගෙන ඇති බවද සමූපකාර සේවකයෝ කියති.මීට පෙර අවස්ථාවකද මහ සභාවේ සමාජිකයින් සමුපකාරයේ වියදමින් ඉන්දියානු සංචාරයක යෙදුණු බවත්, තම වැටුප් හා පහසුකම් වැඩි කරන ලෙස බලකරමින් උද්ඝෝෂණවල පවා යෙදීමට සිදු වී ඇති නමුත් ඒ පිළිබදව කිසිදු තැකීමක් නොකරන සභාපතිවරයා ඇතුලු මහ සභා නියෝජිතයින් සේවකයින් පිළිබදව මර්දනකාරි පිළිවෙතක් අනුගමනය කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ සම්බන්ධයෙන් වයඹ පළාත් සමූපකාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙලෙස පැවසීය.

‘‘අපි මේ වගේ නාස්තිකාර සංචාරයන් සම්පූර්ණයෙන්ම නවත්වලයි තියෙන්නේ. මම වයඹ සමූපකාර කොමසාරිස්තුමාටත් උපදෙස් දීලා තියෙන්නේ මේ වගේ නාස්තිකාර සංචාරයන් සුදානම් කරන සමූපකාර ආයතන සම්බන්ධයෙන් හොයලා බලලා වහාම ඒවා නැවැත්වීමට පියවර ගන්න කියලා. අපි මේ වගේ කිසිම තේරුමක් නැති සංචාර නවත්වලා ඒ වෙනුවට ආයතන සහ දිරි ගන්වන ක්‍රමවේදයක් සකස්කරමින් ඉන්නවා. ‘‘

මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙසේ පැවසීය.

‘‘අපි මෙය නිලවරණය ඉලක්ක කරගෙන සූදානම් කරපු සංචාරයක් නෙමෙයි. අපි මීට වසර තුනකට පෙරදීත් මහ සභා සාමාජිකයන් හා සේවකයින්ව ඉන්දියානු සංචාරයකට අරන් ගියා. මේ වසරේත් අපිට මහසභාවෙන් ඉල්ලීමක් ආවා විදෙස් සංචාරයක් ලබා දෙන්න කියලා. ඒ නිසා අපි ඒ අයව, සේවකයින් වගේම තෝරාගන්නා ගණුදෙනුකරුවන් පිරිසකුත් මේ සංචාරයට එක්කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි සේවක සුභසාධනය වගේම ආයතනයත් දියුණු කරන ගමන් තමයි මේ සංචාරය ලෑස්ති කරන්න සුදානම් වුනේ. මේක බොහොම සද්භාවයෙන් සහ විනිවිද භාවයෙන් යුතුව ලෑස්තිකරපු ගමනක්. අනික අපි මේ ගමන යනවද නැද්ද කියලා තවම හරියටම තීරණය කරලා නෑ. “යැයි පැවසීය.

චන්දන ප්‍රනාන්දු 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article