Saturday, January 18, 2025

නීතිඥ හිජාස්ට නීතියේ රැකවණය: ජාතික සහ ජාත්‍යන්තර නීතිඥ ප්‍රජාවෙන් ඉල්ලීම්

Must read

Lawyer-Hijazs-2020.05.04ජාතික සහ ජාත්‍යන්තර නීතිඥ ප්‍රජාවෙන් ඉල්ලීම්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධතාවක් ඇතැයි යන චෝදනාව මත ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වූ හිජාස් හිස්බුල්ලා අප්‍රේල් 14 වැනිදාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එතැන් සිට මේ දක්වා මාසයකට අධික කාලයක් ඔහු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයේ රඳවා තබාගනු ලැබ සිටියි.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බරපතළ අවධානයට ලක් වූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පැවැත්වීමේදී මානව හිමිකම්වලට ගරු කරන ලෙසත් ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමින් නීතිඥවරු, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ප්‍රකාශ නිකුත් කළහ.

පසුගිය සතියේ ජාත්‍යන්තර නීතිඥ සංගමය වෙනුවෙන් එහි සම සහාපති හිටපු විනිසුරු මයිකල් කර්බි සහ ඈන් රැම්බර්ග් අත්සන් කළ ලිපියකින් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත දන්වා තිබෙන්නේ “නීතිඥ හෙජාස් හිස්බුල්ලා රඳවා තබා ගැනීමේදී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඔහුට නිරන්තරයෙන් සිය නීතිවේදීන් හමුවීමට ඉඩ සලසන ලෙසත්, නීතිඥවරයකු ලෙස ඔහුට හිමි වෘත්තීය වරප්‍රසාද ගරු කරන ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින” බවයි.

“ආණ්ඩුව වගවීමෙන් බැඳ තැබීමේ තීරණාත්මක භූමිකාව පවත්වාගෙන යාම සඳහා නීතිඥවරුන්ගේ ස්වාධීනත්වයටත්, ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට ඔවුන් සතු අයිතියටත් ගරු කරන ලෙස ජාත්‍යන්තර නීතිඥ සංගමය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.”

මැයි 20 වැනිදා නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරු 185 දෙනෙකුගේ අත්සනින් යුතුව නැවත වතාවක් ශ්‍රි ලංකා නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින්, නීතිඥ හිජාස් හිස්බුල්ලා මේ දක්වා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පැමණවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත්ව තිබීමත්, නීතිඥවරයාට අර්ථවත් නීතිඥ ප්‍රවේශයක් ලබා දීමට අසමත්ව තීබිමත් පිළිබද අවධාරණය කිරීම ද ඇතුලු‍‍ව කාරණා ගණනාවක් සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ අවධානය යොමු කරවයි.

මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය පිළිපැදීමට අපොහොසත් වීමක් බව නීතිඥවරු පෙන්වා දෙති. “නීතියට අනුව රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති පුද්ගලයකු පැය 72 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. මෙය ශේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද නීතියේ වැදගත් ආරක්ෂාවක් බැවින්, නීතියේ මෙම අවශ්‍යතාවය පිළිපැදීම සහතික කිරීම සඳහාත් විශේෂයෙන් නීතිඥයෙකුගේ මෙම අයිතිය උල්ලංඝනය වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා නීතී සංගමයේ මැදිහත් වීම අතිශයින් වැදගත් යැයි සිතන බව”ත් එම ලිපියේ සඳහන් වේ.

“නීතිඥ හිස්බුල්ලාට නීතීඥවරයකු මගින් පෙනීසිටීමට ඇති අයිතිය මේ වන විට ප්‍රතික්ෂේප වී ඇති අතර, නීතිඥවරයෙකුට තම සේවාදායකයා වෘත්තීය මට්ටමින් නියෝජනය කිරීමට ඇති අයිතියටද බාධා පමුණුවා ඇති බව” ඔවුහු පෙන්වා දෙති. “නීතිඥ සංගමය සිය සාමාජිකයෙකු සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමය සහතික කිරීමට ඉල්ලීම විමර්ශනවලට ඇඟිලි ගැසීමක් ලෙස දැකීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් නීතියේ පැහැදිලි අවශ්‍යතාවයන්ට අනුකූලව එම ක්‍රියාදාමය විමර්ශනවල කාර්යක්ෂමතාවයට අත්‍යවශ්‍ය වන බව”ත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

“විශේෂයෙන්ම වෘත්තිකයන් සහ අධිකරණ නිලධාරීන් වශයෙන් ඕනෑම චූදිතයෙකුට පවා මූලික වූ නිසි ක්‍රියාදාමය යටතේ අයිතිවාසිකම් ලබා දීමට අප වගබලා ගත යුතුය. මෙය හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් විශේෂ වරප්‍රසාදයක් සැලසීමක් නොව සිය නීතියට අනුව තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ආරක්ෂා වී තිබීම ශිෂ්ට සමාජයක මූලිකම පදනමයි. නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂණ විධිවිධාන අහිමි වී ඇති තම සංගමයේ සාමාජිකයෙකු වෙනුවෙන් නීතිඥ සංගමය මැදිහත් වීම තම සේවාදායකන් වෙනුවෙන් පෙනී සිටීමේ නීතිඥ අයිතිය බාධාවකින් තොරව කරගෙන යාම අත්‍යාවශ්‍ය වන බව” පෙන්වා දෙයි.

මේ අතර නීතීඥ හිජාස් හිස්බුල්ලා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සහ අනීතිකව අත්අඩංගුවට ගත් ඔහු නිදහස් කරන ලෙස හේබියස් කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම නැවත වතාවක් ජුනි 01 වැනිදා දක්වා කල් දමා තිබෙන අතර ඔහුට එරෙහිව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට බාලවයස්කාර දරුවන් තිදෙනෙකු රහස් පොලිසියට ගෙන ගොස් බලහත්කාරයෙන් ලේඛනවලට අත්සන් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවන් සිය භාරකරුවන් හරහා මැයි 11 වන දින ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබේ.


උපුටා ගැනිම – සමබිම

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article