අනේ නැන්දේ මාමේ අයියේ අක්කේ ටික දවසකට කලින් නපුරු මාමා කෙනෙක් මාවයි මගෙ නංගිවයි මේ පන්සලට ගෙනත් දාලා ගියා. අපි දෙන්නා හිටියේ ගොඩක් බයෙන්. මේ පන්සලේ හිටිය බලු අයියලා අක්කලා අපිට සැර දැම්මා. අපිට කන්න දුන්නෙත් නෑ. එයාලා අපේ කෑමත් උදුරගෙන කනවා.
දවසක් අපේ නංගිව කවුරු හරි කෙනෙක් අරගෙන ගිහින්. අන්තිමට මං විතරක් තනි උනා. දැන් මට හරිම පාලුයි තනියි. අම්මවත් මතක් වෙනවා. ඒ වෙලාවට මට හිතට හරිම දුකයි. ඒත් අම්මාව හොයං යන්න මං පාර දන්නෙ නෑ .
දැන් සීතලට තුරුල් වෙලා නිදාගන්න මට නංගිත් නෑ. මන් දැන් කොහේ හරි මුල්ලකට වෙලා නිදා ගන්නවා. ලොකු බලු අයියලා අක්කලාගෙන් බේරිලා ඉන්න.
දවසක් දා පන්සලට ආපු රෝද තුනේ වාහනයකට මගේ කකුලක් අහුවුණා. දැන් මට ඒ කකුල බිම තියෙන්නත් බෑ. ඒත් එක අක්කා කෙනෙක් ඇවිල්ලා දැන් මගේ කකුලෙ බේත් ගාලා කන්න බිස්කටුත් දෙනවා.
ඒත් අදත් ලොකු අයියා කෙනෙක් පැනලා මගේ බිස්කට් එක උදුර ගත්ත පාරට එයාගෙ දතක් වැදිලා මගේ මූන තුවාල වුණා. මට දැන් මෙතන ඉන්න හරි අමාරුයි. මෙහෙ කවුරුවත් මට ආදරේ නෑ.
මට දැන් ටිකක් කකුල බිම තියන්න පුළුවන්. ඒ අක්කා කිව්වා මට බත් චුට්ටක් කාලා නිදාගන්න පොඩි ඉඩක් දෙන කරුණාවන්ත ගෙදරක් හොයලා දෙන්නම් කියලා. මං ඔයාලට කිසිම කරදරයක් කරන්නේ නෑ. මට චුට්ටක් ආදරය දුන්නොත් හොඳටම ඇති. අනේ නැන්දේ, මාමේ අයියේ ,අක්කේ මට ඔයාලගේ ගෙදරින් චූටි ඉඩක් දෙන්න. මං ඒ වෙනුවට ඔයාලගේ ගෙදර ආරක්ෂා කරල දෙන්නම්. මං ඉන්නේ පන්නල. අක්කා කිව්වා කිව්වා පන්නල තියෙන්නෙ මීගමුව කුරුණෑගල පාරේ කියලා. ඒ අවට ඉන්න කෙනෙක් හම්බ වුනොත් ගෙදරටම මාව ගෙනිහින් දෙන්නං කියලත් කිව්වා. අනේ කවුරු හරි මට උදව් කරන්නකෝ.
උපුටා ගැනීම – Care For The Voiceless