බලපත්ර රහිතව අලි පැටවෙකු ළග තබාගත් බවට එල්ල වී ඇති චෝදනාව වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීම සදහා තමන් වහන්සේට අඩුම ගණනේ රුපියල් 10 ක හෝ ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් උඩුවේ ධම්මාලෝක හිමියන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කරමින් හෙට දිනයේදී පළවීමට නියමිත ඉරිදා පුවත්පතක සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළකර තිබේ.
අලි පැටවකු පන්සලේ රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්රකාශ කර තිබිණි. ඊට ප්රතිචාර දක්වමින් පළකර ඇති මෙම පුවත්පත් දැන්වීමෙන් තම නිර්දෝෂිභාවය අදිකරණය හමුවේ ඔප්පු කරවීම සදහා රටේ ඉහළම නීතිඥයන්ගේ සහාය ලබා ගන්නා බව ධම්මාලෝක හිමියන් විසින් සදහන් කර තිබේ. එබැවින් තමාගෙන් ධර්මය ඇසූ සියලුම දෙනාගෙන් තමන් වහන්සේ අඩුම ගණනේ රුපියල් 10ක හෝ ආධාරයක් අපේක්ෂා කරන බවත්, එම මුදල කිරුළපන සිරි ඇලන්මැතිනියාරාමය වෙත ගෙනැවිත් භාරදෙන ලෙසත් එහි සදහන් වී තිබේ. එසේ කළ නොහැකි අයට මුදල් තැන්පත් කිරීම සදහා බැංකු ගිණුමක්ද එම පුවත්පත් දැන්වීමට ඇතුළත් කර තිබේ.
ඉරිදා ලංකාදීප පුවත්පතේ තනි පිටුවක කලු සුදු දැන්වීමක් පළකිරීම සදහා දළ වශයෙන් රුපියල් තුන්ලක්ෂ හැටදහසක් (360,000) මුදලක් අය කෙරෙන අතර ඊට වැට් බදු එකතු වූ විට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ඒ සදහා ගෙවිය යුතු වෙයි. රුපියල් දහයක් දෙන ලෙස ඉල්ලමින් රුපියල් ලක්ෂ හතරක දැන්වීමක් පළකරන්නේ සිරි ඇලන්මැතිනියාරාමයේ දායක දායිකාවන්ගේ කාරුණික අනුග්රහයෙන් බවද ධම්මාලෝක හිමියෝ සිය දැන්වීම අවසානයේ කියති !
update. 2016.02.21, 6 pm
ඉරිදා ලංකාදීප පුවත්පතට අමතරව මව්බිම ඉරිදා පුවත්පතෙහිද උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිටු තුන්කාලකට ආසන්න වර්ණ දැන්වීමක් පළකර තිබේ. එම දැන්වීම පළකිරීම සදහාද වැට් බදු සමග දළ වශයෙන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය වන අතර ඒ අනුව උඩුවේ හිමියන් විසින් පුවත්පත් දැන්වීම් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ අටකට ආසන්නය.