දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ මාර්ගය පුඵල් කිරීම සදහා කඩා ඉවත් කරනු ලැබූ කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ , කුරුදැල්පොත ප්රදේශයේ පිහිටි බෝක්කුවක් මේ දක්වාම පිළිසකර නොකිරීමට විරෝධය පළකරමින් ප්රදේශවාසීහු ඊයේ (12 දා) උද්ඝෝෂණයක යෙදුණහ.
කුරුදැල්පොත කිරි නිපදවන්නන්ගේ සංගමයට යාබදව පිහිටා ඇති මෙම බෝක්කුව නැවත පිළිසකර කරන බව පවසමින් කඩා ඉවත් කළ නමුත් වසර කිහිපයකට පසුවත් මේ දක්වාම එහි කිසිදු ඉදිකිරීමක් සිදු වී නොමැති බව උද්ඝෝෂණයට එක් වී සිටි ප්රදේශවාසීහු කීහ. බෝක්කුව ඉදිකරන තෙක් පාවිච්චි කිරීම සදහා බෝක්කුව ආසන්නයේ ඉදි කර ඇති විකල්ප මාර්ගයේද ගමන් කර නොහැකි තරමට අබලන් වී ඇතැයිද විරෝධතාකරුවෝ මෙහිදී කීහ.
දැඩි අවදානම් සහිත ස්ථානයක් බවට පත් වී ඇති මෙම ස්ථානයේ අනතුරු ඇගවීමේ පුවරුවක් හෝ සවිකර නොමැති බැවින් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු පමණ විවිධ අනතුරුවලට ලක් වී ඇති බවද ඔවුහු කීහ. මෙම ස්ථානයේදී අනතුරට ලක්වූ අයෙකු ආබාධිත තත්වයට පත් වී ඇති බව කී විරෝධතාකරුවෝ නිසි බලධාරියෙක් පැමිණ විසදුමක් ලබා දෙන තෙක් සිය විරෝධය අඛණ්ඩව පවත්වාගෙන යන බවද කීහ.
පසුව මෙම ස්ථානයට පැමිණි කුලියාපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප්රියන්ත මහතා විසින් කුලියාපිටිය පොලිසියේ රථවාහන අංශයේ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයෙහි අනතුරු ඇගවීමේ සංඥා සහිත පුවරු ප්රදර්ශනය කරවීමට කටයුතු කරන බවට විරෝධතාකරුවන් හමුවේ පොරොන්දු විය. අදාළ ගැටඵව පිළිබදව සාකච්ඡා කිරීම සදහා බලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමටත් තමා විසින් පුද්ගලිකවම මැදිහත් වන බව කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විකල්ප මාර්ගයේ දැනට අබලන් වී ඇති ස්ථාන තාවකාලිකව පිළිසකර කරවීමට මාර්ග සංවර්ධන අධිකාරිය එකගතාවය පළ කර ඇති බවද පැවසීය.
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පොරොන්දුවත් සමග උද්ඝෝෂණය අවසන් කළ පිරිස සාමකාමීව විසිරී ගියහ.
කුලියාපිටිය උපේන්ද්ර සේරසිංහ