Saturday, January 18, 2025

දරුවාට පාසලක් ඉල්ලා ජනපති හමුවීමට පයින් යන ආබාධිත සෙබලෙක්.

Must read

දරුවාට පාසලක් සහ පදිංචි වී සිටින ඉඩමට ඔප්පුවක් ඇතුඵ ගැටඵ කිහිපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සන්දේශයක් භාරදීමට අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අසල සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක යෙදී සිටින පුද්ගලයෙකු පසුගිය දිනෙක කුරුණෑගල නගරයේ අපට හමු විය.

එම්. බී. වසන්ත කුමාර (45 ) නැමැති ඔහු අනුරාධපුර නෙළුම්කුලම ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ බව කියන ආබාධිත සෙබලෙකු වන මොහු පසුගිය 3 වැනිදා පෙරවරුවේ අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අසලින් සිය පා ගමන ආරම්භ කළ බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත පැවසීය.

පා ගමනින් අනුරාධපුරයේ සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා ගොස් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තමන් මුහුණ දෙමින් සිටින පුද්ගලික ගැටළු දෙකක් සහ පොදු ගැටළු දෙකක් ඇතුළත් කර සැකසූ සන්දේශයක් ජනාධිපතිවරයා වෙත භාරදීම තමාගේ අරමුණ බව ඔහු කියයි.

තම පා ගමනේ අරමුණ පිලිබඳව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත විස්තර කළ වසන්ත කුමාර මහතා මෙසේ පැවසීය .

මම ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ ආබාධිත සෙබලෙක්. මගේ පුතා 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 153 ලබාගත්තා. ඒ අවුරුද්දේ අනුරාධපුරේ ජාතික පාසල් වලට දරුවන් ඇතුලත් කර ගත්තේ ලකුණු 160 න්. ආබාධිත රණවිරුවෙක් නිසා මට ඒ වෙලාවේ මගේ දරුවා කොළඹ පාසලකට උනත් ඇතුලත් කර ගන්න හැකියාව තිබුනා. නමුත් මම උත්සහා කලේ අනුරාධපුරයේම තියෙන ජාතික පාසලකට දරුවව ඇතුලත් කරගන්නයි. නමුත් ලකුණු 7 ක් මදි කියලා ඒ කිසිම ඉස්කෝලෙකින් දරුවව භාරගත්තේ නෑ. ඒ උනාට සමහර ජාතික පාසල් වලට ආදි ශිෂ්‍ය පදනමයි, වෙන වෙන හේතු කියා කියා හා ලකුණු 100ට අඩු ළමුයි පවා ඇතුලත් කර ගත්තා. එතනදි ආබාධිත රණවිරු පවුලක දරුවෙක් විදියට මගේ පුතාට ලොකු අසාධාරණයක් උනා. අනික මම දැන් අවුරුදු 50 කටත් වඩා පදිංචි වෙලා ඉන්න ඉඩමට නිසා ඔප්පුවක් නැහැ. මම නැති කාලෙක මගේ බිරිඳට හා දරුවන්ට මහා පාරට බහින්න වෙයි. මට පුද්ගලිකව බලපාලා තියෙන මේ ගැටළු දෙකට මම අතිගරු ජනාධිපතිතුමන්ගෙන් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ ගමේ පන්සලේ නායකත්වය ගැන මේ දවස්වල විශාල ගැටළුවක් තියෙනවා. බෞද්ධයෙක් විදියට මට ගමේ පන්සල අරාජික වෙන්න දෙන්න බෑ. මගේ සන්දේශයේ මේ ගැටළුවත් නිරාකරණය කරලා දෙන්න කියන ඉල්ලීමත් ඇතුළත් කරලා තියෙනවා. අනික් කාරණය අපේ යුධ , ගුවන් , නාවික කියන සියලූම හමුදාවන්ට පොදු ඉල්ලීමක්. පහුගිය කාලේ ක‍්‍රියාන්විතයේ යෙදුන අපේ සහෝදර රණවිරුවෙකුට පහුගිය දවසක උසාවියෙන් මරණීය දණ්ඩනය නියම උනා. යුද්ධයේදී ආබාධිත වුන කෙනෙක් විදියට මම දන්නවා යුද්ධයක් පවතින අවස්ථාවක රණවිරුවෝ මොන තරම් කැපවීමක් කරනවද කියලා. ඒ නිසා රණවිරුවෝ ගැන කරන ඉල්ලීමකුත් මගේ ලිපියේ සඳහන් වෙනවා.

මම මගේ පා ගමන ආරම්භ කරලා අදට දවස් තුනක් වෙනවා. අනුරාධපුරයේ සිට කුරුණෑගලට ආපු මේ ගමනේ මට ගොඩක් දෙනෙක් බොහෝ උපකාර කලා. සමහරු කන්න දෙනවා. තවත් සමහරු තැඹිලි වතුර වගේ දේවල් දුන්නා. විශේෂයෙන් පොලීසියේ මහත්වරුන් මෙතෙක් ලබාදුන් සහයෝගය අතිවිශාලයි. ඒ හැම දෙනාටම මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. මගේ එකම අරමුණ මොන බාධකය ආවත් නොනැවතී ගමන් කර ජනාධිපතිතුමා හමු වීමයි.

ඉබ්බාගමුව සම්පත් සෙනවිරත්න

CAFE 2 2015_08_05_16_26_48 001 CAFE 2 2015_08_05_16_26_48 003

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article