Sunday, January 19, 2025

තබ්බෝවේ වල් අලි – පොල් ටිකටත් කෙළිති.

Must read

මේ දිනවල තබ්බෝව අවට ගම්මාන රැසකට සවස් කාලයේ රංචු වශයෙන් කඩාවදින වල් අලින් විසින් එම ගම්මානවල පොල් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම නිසා ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

තබ්බෝව, පාවට්ටාමඩුව, තේවනුවර, ප්‍රදීපාගම ඇතුළු ගම්මාන රැසකට සවස් කාලයේ කඩා වදින වල් අලි රංචු හේතුවෙන් සිය පොල් වගාවන් මුළුමනින්ම විනාශයට ලක්ව ඇති බව ගොවියෝ කියති.ඉදිකර ඇති අලි වැටේ නිසි නඩත්තුවක් හෝ පාලනයක් නොමැතිකම නිසාවෙන් වල් අලි රංචු ගම් වැදීම ඉහළ ගොස් ඇති බව ඔවුහු වැඩිදුරටත් කියති.වල් අලින් විසින් මේ වන විට පොල් අක්කර 50ට වැඩි ප්‍රමාණයකට අලාභ හානි කර ඇති බව ගොවියන් පවසති.සවස් කාලයේදී රංචු වශයෙන් ගම් වදින වල් අලි පොල්, කොස්, කෙසෙල් ආදී බව බෝග ආහාරයට ගැනීමට පුරුදුව ඇති බවත්, පොල් ගස් බිමට පතිත කර එහි බොඩය ආහාරයට ගැනීමට දැඩි රුචියක් දක්වන බව කියැවෙයි.

වල් අලි පලවා හැරීමට වන ජීවි නිළධාරින් මේ වන තෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීම බරපතල ගැටළුවක් ලෙසයි ගොවියන් පෙන්වා දෙන්නේ. ගොවීන් වැඩි දුරටත් පවසන්නේ වල් අලි පලවා හැරීම සදහා ඔවුන්ට අවශ්‍ය අලි වෙඩිකිසිවක් මේ වන තෙක් වන ජීවි කාර්යාලය මගින් නිකුත් නොකර ඇති බවයි.තබ්බෝව අවට ගොවි ගම්මාන රැසක මේ වන විට අලි මිනිස් ගැටුමක් නිර්මාණය වී හමාර වුවද කිසිදු බලධාරියෙක් නිසි ක්‍රියා මාර්ගයක් හෝ මෙම ගැටළුවට තිරසාර විසදුමක් ලබා නොදී මුණිවත රැකීම ගොවි ජනතාවට බරපතල ගැටළු සහගත තත්ත්වයක් බව කියයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් දැක්වූ එස්.එම්. කපුරු බණ්ඩා මහතා.

මේ වල් අලි හැතිකරේ කරන මේ අපරාධ සුළු පටු නෑ. හරියට ගොවියොත් එක්ක වෛරයක් පිරිමහනවා වගේ තමයි අපේ භව භෝග විනාශ කරන්නෙ. කතාවක් තියෙනවානෙ බීරි අලියාට විනා ගහනවා කියලා අන්න ඒ වගේ උන්ට කොච්චර වෙඩි දැම්මත්. කෑ ගැහැවත් උන්ට ගානක් නෑ. උන්ගෙ වැඩේ උන් කරනවාමයි. මගේ පොල් ගස් දහයක් විතර සම්පූර්ණයෙන් කඩා බිම දලා පොල් පැලයක් හිටවලා කොච්චර කාලයක් බලන් ඉන්න ඕනෙද පීදෙනකන් ? පීදෙන්න ඔන්න මෙන්න කියලා අලි කාලා විනාශ කරපුවාම මොන තරම් දුකක් දැනෙනවාද ?මේක වන ජීවි එකේ අයට කියලා තේරුම් කරන්න බෑ. එයාලට මාසේ පඩිය ලැබෙනවා නම් ඒ ඇති .අපිට හෙන ගැහැව්වත් කමක් නෑ.

එල්.එච්.ඒ.සුනිල් මහතා.

thabbowa_ cocunt4

මට දැන් අවුරුදු 55ක් විතර වෙනවා. අපි මේ ගමේ මුල් පදිංචිකාරයො මම මේ ගමේ පදිංචි උනදා ඉදලා මේ අලි කරදරේ දිගටම තියෙනවා. අද නවතියි හෙට නවතියි කියලා අපිත් හිතනවා. ඒත් අලි ඒම නවත්වන්න සක්කරයටවත් බෑ. මගේ පොල් අක්කර දෙකක් විතර දැන් අවුරුද්දකට කලින් සම්පූර්ණයෙන් කාලා විනාශ කෙරුවා. කීවට පිළිගන්නෑ. පොල් ගහක උස කියනව නම් කෙකි වලින් තමයි අපි පොල් කැඩුවෙ. අන්න ඒ ගස් සේරම මේ වල් අලි හැතිකරේ බිම පෙරලලා දැම්මා. හරියට දරුවො මරණවා වගේ බලාගෙන ඉද්දි බිම පෙරලලා බොඩේ ඇදලා කද්දි හරියට පපුවට පිහියෙන් අනිනවා වගේ එත් කමක් නෑ. කියලා ආපහු පොල් හිටෙව්වා ඒගමන ඊට හපන් බැරි තැන අලි පන්න ගන්න බැරුව ගියා පොල් ගස් 150ක් විතර තිබුණා මට දැන් තියෙන්නෙ පොල් ගස් 25ක් විතර ඔක්කොම අලි කටට දන් දුන්නා. ඔන්න අලියන්ගෙ රගේ.

 ඒ.එම්. ධර්මසේනමහතා.

අපිට ගමේ අය කියන්නෙ දෙවියන්ගෙ දරුවො කියලා. ඒකට හේතුව කිව්වොත් කව්රුත් පුදුම වෙනවා. අලි අපේ ඉඩමෙ රෑ එලිවෙනකම් කරක් ගහනවා. දවසක් මමයි මගේ පවුලයි, දුවයි ඉඩමේ ගහක් මුල පැළක් ගහගෙන ඉද්දි අලියා ආවා. ඒ ආපු අලියා අපිව මැදි කරගෙන හිට ගත්තා අපි ඔක්කොම අලියගෙ බඩ යට හිටියෙ එදා තමයි අපිව මැරෙන්න තිබුණෙ දෙවියොයි ගමේ අයයි අපිව බේර ගත්තා. මගෙ අක්කර දෙකක සම්පූර්ණ පොල් දාලා ගෙඩි කැඩෙන ගස් තිබුණෙ. මේ සේරම දවසට හතර පහ හැමදාම අලි විනාශ කෙරුවා. ඊට පස්සෙ වෙන දෙයක් වෙන්න කියලා ආයෙ පොල් හිටවලා පීදීගෙන එන්න ඔන්න මෙන්න කියලා සේරම පෙරලුවා. දැන් ආයේ පොල් පැල හිටවලා තියෙනවා. ඒකත් කන්න නිතරම මේ අලි හැතිකරේ ඉඩම සින්නකරයට අරගෙන ඉන්නෙ. මම ලෙඩෙක් කරෙන් වතුර ඇදලා මේ පොල් හිටව්වෙ එහෙම කරපු අපිට තමයි අද මෙහෙම වෙලා තියෙන්නෙ.

ජී.ඩී. ප්‍රේමරත්න මහතා.thabbowa_ cocunt2

 අපේ ගමේ නමට අලි වැටක් කියලා එකක් තියෙනවා. හැබැයි ඒක වේලාවකට වැඩ වේලාවකට වැඩ නෑ. ඒක වැඩ කරන්නෙ අවාරෙට කජු කොළ වැටෙනවා වගේ. මේක වල් අලින්ට ගම් වදින්න හොද පාරක් අපි කියන්නෙ මේ අලි වැට ඉදිකරලා ප්‍රදර්ශණයට තිබුණා කියලා අලි බය වෙන්නෙත් නෑ. අලියන්ගෙ ගමන නවත්වන්නත් බෑ. තව දෙයක් මේ අලි වැටට හෙනහුරෝ ගොඩක් ඉන්නවා. පිරිසක් හොර අරක්කු පෙරන කට්ටිය, තවත් පිරිසක් දැව ජාවාරම්කාරයෝ, තවත් පිරිසක් හොර අරක්කු පෙරන කට්ටියයි වැලි හොරුයි මෙයාලා මෙයාලගෙ හොර ජාවාරම් කරන්න කැලේට යන්නෙ අලි වැට තැනින් තැන කඩලා බිදලා දාලා ඉතිං වන ජීවි එකයි, වන රක්ෂණ එකයි අහක බලාගෙන හොරුන්ට පාර කපලා අපිව මරන්න වල් අලි ගමට කොටු කරන එක තමයි මෙයාලගෙ රාජකාරිය යනුවෙනි.

ජී.ඒ.අනුලාවතී මහත්මිය.thabbowa_ cocunt1

 මරණාසන්න ලෙඩක් හැදුනත් හැන්දෑවෙ හයෙන් පස්සෙ අපිට එළියට පහළියකට බහින්න බෑ හතර වටේට අලි ගමේ මිනිස්සුන්ට වැඩිය ගමේ රෑ තිස්සේ රවුම් ගහන්නෙ වල් අලි වන ජීවි එකට කට කැඩෙනකම් කිව්වත් තුට්ටුවකට අපේ වචනෙ ගනන් ගන්නෑ. වන ජීවි එකේ අය කළුද, සුදුද කියලා අපි නම් දැන් අවුරුදු ගාණකින් දැකලා නෑ. මොකද කවදාවත් අපේ ගමකට ඇවිල්ලා අලියෙක් එලෙව්වා කියලා මගේ කනට නම් මේ වෙනකම් ඇහිලා නෑ. හැන්දාවේ හය වෙද්දි අපේ ඇගේ ලේ වතුර වෙලා තියෙන්නෙ මොකද කොයි වෙලාවෙ ගේ කඩයිද, කොයි වේලාවේ අපිව පාගලා මරයිද කියන බයෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. මේ අලි ප්‍රශ්ණට ස්ථිර විසදුමක් කවදා ලැබෙයිද කියලා කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ අපිත් බලාගෙන ඉන්නෙ.

 වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන/ තබ්බෝව නිමාලි ප්‍රියදර්ශණි 

thabbowa_ cocunt thabbowa_ cocunt5 thabbowa_ cocunt8 thabbowa_ cocunt9 thabbowa_ cocunt7 thabbowa_ cocunt6

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article