Saturday, January 18, 2025

‘ ඩයනා’ ගේ මුලු පැටිකිරියම සෙවිය යුතුයි

Must read

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සංචාරක රාජ්‍ය අමාත්‍ය වූ ඩයනා ගමගේ සම්බන්ධ නඩුව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (10) නියෝග කොට තිබිණ.ඒ අනුව මෙම පැමිණිල්ල ලබන දෙසැම්බර් මස 15 වැනිදා යළි කැඳවන ලෙසත්, එදිනට සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කොට තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ශ්‍රී ලාංකේය පුරවැසි භාවය පිළිබඳ මීට පෙර අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් ව ඇතත් ඒ පිළිබඳ වැඩිදුර විමසුමක් නොකරන ලදී. “ඩයනා” යන ලෝ පතල නමකින් සහ දේශීය ගැමි පෙළපත් නමකින් සමාජය හමුවේ පෙනී සිටින සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ අමුතුම භූමිකාවක් දරන්නීය.ඇය මෙරට දේශපාලනයට අවතීර්ණ වනුයේ ජනතා නියෝජිත වරියක ලෙස මහජන ඡන්දයෙන් නොවේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙනි. නමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයට පක්ෂව සිය ඡන්දය ලබා ලබා දීම මත පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පසුගිය දා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බවකි.එහෙත්, සමගි ජන බලවේගයේ එම තීරණය නීත්‍යානුකූල නොවන බැවින් තමන් නීතිය හමුවට යන බව ඩයනා ගමගේ කියා තිබිණ. මේ අතර ඇය ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් රට “සෝමාලියාවක්” බවට පත්වන බවට චෝදනා කළාය. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස රට ගැන සිතා ක්‍රියා කළ යුතු බවත් ඇය එහි දී පැවසුවාය. එමෙන්ම ඩයනා ගමගේ ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස ආර්ථිකය කඩාකප්පල් කරන බැවින් නැවත ජනතාව ඔහු සමඟ පාරට නොබසින ලෙස ය.

අපට වැටහෙන අන්දමට ඩයනා ගමගේ ගේ දේශපාලන ව්‍යවහාරය ප්‍රධාන කරුණු දෙකක් මත රඳා පවතී.ඒ ගංජා වගාව හා ගණිකා වෘත්තියයි.ඒවා නීතිගත කොට එමඟින් රටේ ආර්ථික ප්‍රවර්ධනයක් ඇති කළ යුතු බව ඇය පවසනුයේ දැඩි මානසික අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට මෙනි. බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ආගමට හෝ සංස්කෘතියට හානියක් සිදුවී නොමැති බවත් ඒ අනුව අප රටේ ද ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය වරිය වශයෙන් ඩයනා ගමගේ බීබීසීය සමඟ කළ සංවාදයකදී පැවසුවාය.ඒ අතර කංසා අපනයනය නීතිගත කළ හැකි ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඒ සඳහා නිලධාරීන්ගෙන් බාධා එල්ල වන බවත් ඇය එහි දී කියා සිටියාය. ඒ අනුව ඇය අනියමින් පවසනුයේ රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධ තම උපාය මාර්ග වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එකඟ බවකි.

මේ අතර සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් ස්ථාපිත කරන ලද බව ඇය පසුගිය දා මාධ්‍ය හමුවක දී කියා සිටියා ය.”ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඕනේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්.” ඇය එහි දී.මේ අතර මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඩිස්නිලන්තය ඉදිකෙරෙනු ඇති බවකි.එසේ වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනු ඇත.ඒ අනුව ඩයනාගේ මෙම ඩිස්නිලන්ත කතාවට ඉන්දියානු ජන මාධ්‍ය මඟින් ද ප්‍රචාරයක් ලබා දෙන ලදී.

ඒ එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුවහොත් එය ඔවුනට ද ආසන්නතම ඩිස්නිලන්තය වන බැවිනි.එහෙත්,ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම පිණිස එම සමාගම ඇමතූ අප මාධ්‍යවේදීන්ට ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ එබඳු සැලසුමක් තබා තමන් එවැනි තොරතුරක් වත් නොදන්නා බවක් කියමිනි.එහෙත්, ඒ සම්බන්ධයෙන් යළි තොරතුරු දැන ගැනීම පිණිස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇමතූ මාධ්‍යවේදීන්ට ඇය පවසා ඇත්තේ “ඔයාලා කාත් එක්ක ද කතා කළේ? මට ඒක කියන්න” යනුවෙනි.ඒ අනුව ඇය එම සමාගමේ කිනම් හෝ පාර්ශව කරුවකු සමඟ රහස් හෝ අනියම් මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වී ද යන්න සැක සහිත ය. නමුත් ඇයගේ මෙම සකල විධ කියුම් කෙරුම් සම්බන්ධයෙන් අපට ඇති ගැටළුව මෙයයි.

ඕනෑම රටක ජාතික ආර්ථිකය ස්ථාපිත කිරීම පිණිස ආර්ථික විවිධාංගීකරණය අතිශය වැදගත් සාධකයක් ව තිබිය දී සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගංජා අපනයනය සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන මෙතරම් උනන්දුවක් පළ කරන්නේ ඇයි?අපගේ පැරණි ජන සමාජය පවසන අන්දමට “බල්ලන් මරා හෝ” සල්ලි සෙවීමෙන් රටක තිරසාර සංවර්ධනයක් ඇති කර ගත හැකියැයි ඇය සිතනවාද?එමෙන්ම කිසියම් සමාජයක් ධනෝපායනය සඳහා තම සමාජ හර පද්ධතීන් බිඳ දමා ගැනීමෙන් පසු ඇති වන සාරධර්ම විරහිත හෙවත් අනෝමීය ( Anomie) සමාජය නම් අන්තගාමිත්වය ඇය අනුමත කරනවාද? ඒ අනුව සංචාරක රාජ්‍ය අමාත්‍ය පදවිය දරමින් ඩයනා ගමගේ කරන මේ අතිශය බැරෑරුම් ප්‍රකාශ මත ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම පිළිබඳව පමණක් නොව ඇගේ ළමා කාලය මුල් කොට ගත් සමස්ත පැටිකිරියම සොයා ගත යුතු ව ඇතැයි අපට සිතේ.

දමයන්ති ගමගේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article