Sunday, January 19, 2025

‘ජීවිතයක් ලබා දෙනවා කියන්නේ දේශපාලනයක් නෙමෙයි. නමුත් අවසනාවකට විපක්ෂයට අද මේ ටික තේරුම් ගන්න බැහැ.’

Must read

DSC_3815a(1)DSC_3815a(1)අපේක්ෂා රෝහලේ දුක් විදින රෝගීන්ට අවශ්‍ය බේහෙත් වර්ග ටික ලබා ගන්න රජය විසින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සුදානම් වීම කනගාටුදායක කරුණක් යැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය පියංකා රජයරත්න මහතා පැවසීය.

ආණමඩුව සහ කල්පිටිය මූලික රෝහල් සදහා රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ ලබා දීම වෙනුවෙන් ආණමඩුවේදී පැවති උත්සවයකදී රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙම රෝහල් සදහා ශල්‍යාගාර උපකරණ,දැඩි සත්කාර ඒකක උපකරණ, ඩිජිටල් එක්ස් – රේ යන්ත්‍ර,වාට්ටු උපකරණ ඇතුළු නවීන තාක්ෂණික උපකරණ ලබා දීම සිදු කරන ලදි.මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් ලබා දී ඇත.

මෙහිදී තව දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙසේද පැවසීය.

අපේ ගමේ තිබෙන මූලික රෝහල,අවට තිබෙන පාසල් පද්ධතිය,පානීය ජලය,මාර්ග සංවර්ධනය, සහ යහපත් පැවැත්මක් ආණමඩුවට ගේන්න මම පසුගිය කාලය තුළ කටයුතු කලා.

ආණමඩුව මූලික රෝහලට අඩු පාඩු රාශියක් තිබෙනවා.මේ රෝහලට තව වෛද්‍යවරුන් එන්න ඕනේ.තව හෙද මහත්මා මහත්වරු එන්න ඕනේ.තව පහසුකම් හැදෙන්න ඕනා.මධ්‍යම රජය සහ පළාත් සභාව කේන්ද්‍ර කරගෙන අපි ඉල්ලීමක් කර තිබෙනවා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන්  මෙම රෝහලට අවශ්‍ය සේවක හිගය පියවන්න කියලා.අපි ඉල්ලීම් කර තිබෙන්නේ එම කටයුත්ත 2030 දක්වා ඉටු කරන ලෙසයි.මොකද අපි අද හිතන්න ඕනේ තවත් අවුරුදු 10 ක් ගැනයි.ඒ තමයි අපේ දැක්ම වී තිබෙන්නේ.අපි බලන්න ඕනෑ 2030 වන විට මෙම මූලික රෝහල කොහේද තියෙන්නේ කියන එකයි.ඒ සම්බන්ධයෙන් අපි අපේ දැඩි අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය සතියේ අපි පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් කර තිබුණා.එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය මේ ඇස්තමේන්තුව පරාජ කිරීමට කටයුතු කලා.ඒ නිසා අපි එම ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ නැහැ.මහරගම පිළිකා රෝහලේ දරුවෝ ජීවිතය ඉල්ලා අඩනවා.වැඩිහිටි අම්මලා – තාත්තලා අඩනවා ජීවිතය ඉල්ලා.ඒ අයට අවුරුදු දෙකකින් එක බෙහෙත් පෙත්තක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ.බාල ඖෂධ වර්ග තමයි රෝගීන්ට ලබා දී තිබෙන්නේ.පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව බෙහෙත් ගේන්න බැහැ.

පාර්ලිමේන්තුව විසුරුවාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඊට පස්සේ අවශ්‍ය කරන මුදල් වෙන් කර දෙන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා.ඒ නිසා අපි ඉල්ලීමක් කලා පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනට පසු දිනම මෙම ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අවසරය ලබා දෙන්න කියලා , ජනාධිපතිවරයාගෙන්. ජීවිතයක් ලබා දෙනවා කියන්නේ දේශපාලනයක් නෙමෙයි. නමුත් අවසනාවකට විපක්ෂයට අද මේ ටික තේරුම් ගන්න බැහැ.මොකද ජීවත් වීමේ අයිතිය කාටත් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසන සංවිධායක ආනන්ද සරත් කුමාර,වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්.ෆරීඩ් යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article