Sunday, November 24, 2024

ජනවාරි පළමුවැනිදා සිට ලොතරැයි අලෙවිය නවතී ?

Must read

lottery-agents_1ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි මිල ඉහළ දැමීමේදී තමන් වෙත ගෙවන කොමිස් මුදල සාධාරණ ලෙස වැඩිකිරීමක් නොකළහොත් දිවයින පුරා විසිරී සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් ජනවාරි පළමුවැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බව කුරුණෑගල දිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයෝ කියති.

ඔවුහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ලොතරැයිවල මිල රුපියල් 30 දක්වා වැඩි කර ඇති බව ලොතරැයි මණ්ඩල දෙකෙන්ම තමන් වෙත දැනුම් දී ඇති නමුත් , එවැනි මිල වැඩිකිරීමක් පිළිබදව ලොතරැයි අලෙවි නියෝජිතයින් ලෙස තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් නොකළ බවද ඔවුහු කියති. රුපියල් 10 ක්ව පැවැති ලොතරැයියක මිල රුපියල් 20ක් බවට පත්කිරීමත් සමග ලොතරැයි අලෙවිය සියයට පනහකින් පමණ පහත වැටුණු බවත්, ලොතරැයි අලෙවි නියෝජිතයින් මහත් පරිශ්‍රමයක් දරා අලෙවිය පෙර පැවැති තත්වයට ගෙන එමින් සිටියදී නැවත වරක් මෙවැනි මිල වැඩිකිරීමක් කර ඇති බවද පැවසූහ.

ලොතරැයියක මිල රුපියල් දහයකින් ඉහළ දමා ඇති නමුත් තමන්ට ගෙවන කොමිස් මුදල වැඩිකර ඇත්තේ ශත පනහකින් පමණක් බව ඔවුහු කියති. මිල ඉහළ දැමීම තුළ ලොතරැයි අලෙවිය යළිත් වතාවක් සියයට පනහකින් පමණ අඩුවීමට නියමිත බැවින් සහ ඊට සාපේක්ෂව කොමිස් මුදල වැඩිනොවීම හේතුවෙන් මේ වන විට තමන් යටතේ සේවය කරන බොහෝ උප අලෙවි නියෝජිතයින් ජනවාරි පළමුවැනිදා සිට වෙනත් රැකියා සොයාගන්නා බව තමන්ට දැනුම් දී ඇති බවද අලෙවි නියෝජිතයෝ මෙහිදී කීහ.

එබැවින් ලොතරැයි මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීමට සාපේක්ෂව තමන්ට හිමි විය යුතු රුපියල් 5.25 ක කොමිස් මුදලක් ගෙවන ලෙසත්, එසේත් නොමැති නම් ලොතරැයියක මිල රුපියල් 40 ක් බවට පත් කර කොමිස් මුදල ලෙස රුපියල් 7 ක් ගෙවන ලෙසටද ලොතරැයි අලෙවි නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති.

එසේ නොවන්නේ නම් දිවයින පුරා විසිරී සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් ජනවාරි පළමුවැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවත්, තමන් වෙනුවට නව ලොතරැයි අලෙවි නියෝජිතයින් පත්කර ලොතරැයි අලෙවිකිරීමට කිසිවෙකුට ඉඩක් නොතබන බවටද ඔවහු මෙහිදී අනතුරු ඇගවූහ.lottery-agents_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article