මාවතගම ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ පිහිටි වයඹ ප්රින්ට්පැක් නැමැති පොලිතින් මුද්‍රණ කර්මාන්ත ශාලාවේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්න හේතුවෙන් එහි සවිකර තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය සහිත රුපියල් කෝටි 60 කට අධික වටිනාකමකින් යුත් කර්මාන්ත ශාලාව මුලුමනින්ම විනාශයට පත් විය.
ගිනි ගැනීමට ලක් වූ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල සංකීර්ණයෙහි ඊයේ දහවල් දොළහට පමණ ගින්න හටගෙන ඇති බවත්, පසුව එය කර්මාන්ත ශාලාව පුරාම පැතිර ගොස් ඇති බවද වාර්තා වෙයි. ඇතුලත රත්වීම වැළැක්වීම සදහා කර්මාන්ත ශාලාවේ වහලයට යොදා තිබූ ෆොයිල් ආවරණයට ගිනි ඇවිලීම නිසා ඉතා කෙටි කාලයක් තුළදී ගින්න සම්පූර්ණ කර්මාන්ත ශාලාව පුරාම පැතිරීගිය බවද එහි සේවකයෝ කියති.
ගින්න ආරම්භ වී ටික වේලාවකට පසුව එහි පැමිණි කුරුණෑගල සහ මහනුවර මහනගර සභාවලට අයත් ගිනි නිවීමේ ඒකකයන් විසින් මාවතගම පොලිසිය, මාවතගම ප්‍රාදේශීය සභාව සහ යුද හමුදාව සමග එක්ව පැය ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරමින් පස්වරු 4.30 පමණ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වූ නමුත් ඒ වන විට කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම දැවී අලු වී ගොස් තිබිණි. කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාශ වී ගිය නමුත් ඊට යාබදව පිහිටි ගබඩා සංකීර්ණය බේරාගැනීමට ගිනි නිවීමේ ඒකකවලට හැකියාව ලැබිණි.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැකකෙරෙන අතර ගින්න නිවා දැමීමෙන් පසුව පොලිසිය විසින් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලට මුද්‍රා තැබීය. මාවතගම පොලිසිය ගින්න පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
පොලිතින් මුද්‍රණ කර්මාන්ත ශාලාව ගිනිගෙන තිබූ අයුරු සහ ගින්න හේතුවෙන් සිදු වී ඇති හානි දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පහත දැක්වෙයි.