Saturday, January 18, 2025

ගැහැලි සහ බෙදිලි එළියට ආ සතියක ” අඵ යට ගිනි ” !

Must read

58690(4) - Copy - Copy

අඵත් මාසයේ පළමු වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වුණේ පෙරේදාය. කතා දෙකක් නැතිවම එදින පළාත් සභා රැස්වීමේ වීරයා බවට නම් කළ හැක්කේ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්ය. ඒ සමන්ප‍්‍රිය විසින් හිටපු මහ ඇමැති දයාසිරිට රිදෙන සේ කල් යල් බලා, නිල අල්ලා එල්ල කළ පහරක් හේතුවෙනි. සමන්ප‍්‍රිය විසින් දයාසිරිට රිද්දන්නට යොදාගත්තේ දයාසිරි මහ ඇමැතිව සිටි සමයේදී කළ බඩු බෙදිල්ලක් පිළිබදව වත්මන් මහ ඇමැති ධර්මසිරි වෙත යොමු කළ ප‍්‍රශ්නයකි. බෙදාගෙන බෙදා දෙනු වෙනුවට දයාසිරි විසින් අදාළ භාණ්ඩ තොගය තනිවම බදාගෙන බෙදා දුන් බවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සියඵ දෙනාම පාහේ පසුගිය කාලයේදී පසු වූයේ නොසතුටිනි. පසුගිය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් දයාසිරි විසින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ ස්වේච්ඡා සමිතිවලට බෙද බෙදා යද්දී, තමන්ට එක් රුපියලක දෙයක් හෝ නොලැබුණු බවට එකල ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් අසන්නට ලැබුණු සුලබ අදෝනාව විය. ආණ්ඩු පක්ෂයේම මන්ත‍්‍රීවරයෙකු වන සමන්ප‍්‍රියගෙන් හිටපු මහ ඇමැතිගේම වැඩක් පිළිබදව මෙවැනි ප‍්‍රශ්නයක් නැගෙන්නටත් හේතු වී තිබුණේ මන්ත‍්‍රීවරුන් අතර තිබූ ඒ නොසන්සුන්තාවයමය. සැප්තැම්බර් 02 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කෙරුණු සමන්ප‍්‍රියගේ ප‍්‍රශ්නයෙන් වයඹ ප‍්‍රධාන අමාත්‍යංශය විසින් 2014 සහ 2015 වර්ෂයන්හි කුරුණෑගල සහ පුත්තලම දිස්ත‍්‍රික් දෙකෙහි ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා බෙදා දෙනු ලැබූ උපකරණ මොනවාදැයි යන්නත්, එලෙස භාණ්ඩ බෙදා හැරුණු සහ සමිති මෙන්ම ඒ සදහා වැය වූ සම්පූර්ණ මුදල කොපමණදැයි යනුවෙනුත් විමසා තිබිණි. මාස දෙකක් තිස්සේ පිළිතුරු සැපයීමට කල් ලබා ගත් මෙම ප‍්‍රශ්නය සදහා මහ ඇමැති ධර්මසිරි විසින් පිටු 103 ක් සහිත දීර්ඝ පිළිතුරක් සභාවට ඉදිරිපත් කළේ පෙරේදා සභා රැස්වීමේදීය. සිය පිළිතුර ලබා දුන් මහ ඇමැති ධර්මසිරි පුටුවේ වාඩිවෙනවාත් සමගම සමන්ප‍්‍රිය සිය අසුනෙන් නැගිට්ටේ නෝක්කාඩුවක්ද සමගිනි. ” සභාපතිතුමනි, මට මේ සම්බන්ධයෙන් අහන්න අතුරු ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් මේ වෙනකම් ඔය පිළිතුරේ පිටපතක් මට ලැබිලා නෑ. මාධ්‍යයත් මෙතැන ඉන්න වෙලාවේ මට මේක ගැන අතුරු ප‍්‍රශ්න අහන්න තිබුණා නම් තමයි හොද” සමන්ප‍්‍රිය කීය. සමන්ප‍්‍රිය එලෙස කියන අතරේදී දඩි බිඩි ගා දිව ආ සභා සේවකයෙකු විසින් අදාළ පිළිතුර සහිත ලියැවිල්ලේ පිටපතක් සමන්ප‍්‍රිය අතට ගෙනැවිත් දෙනු පෙණිනි. ”සභාපතිතුමනි, මට දැන් තමයි මේක ලැබුණේ . නමුත් මට යම් වේලාවක් ඕනෑ වෙනවා මේක අධ්‍යනය කරන්න. ” සමන්ප‍්‍රිය කීය. සමන්ප‍්‍රියගේ මේ කතාව මහ ඇමැති ධර්මසිරිට ඇල්ලූවේ නැත. ”තමන්ගේ ප‍්‍රශ්නයක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් වෙලා තියෙද්දී මන්ත‍්‍රීවරු දැනගන්න ඕනෑ හොයලා බලලා උත්තරේ ලබාගන්න.” ධර්මසිරි කීය. ”මම දෙපාරක්ම මේ ගැන ඇහැව්වා මහ ඇමැතිතුමනි.” සමන්ප‍්‍රියද ධර්මසිරිට දෙවැනි නොවෙමින් කීය. ” නෑ නෑ මෙතැන වාද කරන්න තරම් දෙයක් වෙලා නෑ. මෙතැන පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. සභාවේ නිලධාරින් අතින් පිළිතුරු කොපිය මාරුවෙලා රංජිත් ගුණසේකර මන්ත‍්‍රීතුමා අතට ගිහින්. ” දෙදෙනාගේ වාදයට මැදිහත්වෙමින් සභාපති ටිකිරි කීය. ”ඒකනේ. අපේ වැරුද්දක් නෑ. අපි ආපු වෙලාවෙම පිටපත් සහිතව පිළිතුරු සපයලා තියෙනවා. මේක බෙදාහැරීම පිළිබද ප‍්‍රශ්නයක්.” එවර ධර්මසිරි සිනා මුහුණක් ආරුඪ කරගනිමින් පැවසීය.

ධර්මසිරි දයාසිරිගේ ඔලුව අත ගා ටොකු අණී.

දයාසිරි විසින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ බෙදාදීම සදහා තනිවම වැය කර ඇති බවට ධර්මසිරි විසින් සිය පිළිතුරෙන් හෙළිකරද්දී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ඇස් උඩ යැවිණි. කෙසේවෙතත් ධර්මසිරි සිය පිළිතුර පුරාම දයාසිරිව යම් තරමකට ආරක්ෂා කිරීමට උත්සහ දැරූ බවක් පෙණිනි. ”හිටපු ප‍්‍රධාන අමාත්‍යතුමා 2014 වසරේදී මහා භාණ්ඩාගාර ලේකම් සමග පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මහා භාණ්ඩාගාරය විසින් සෘජුවම ලබා දුන් මුදල් ප‍්‍රතිපාදන සහ උපමාන පාදක සංවර්ධන ප‍්‍රදාන මේ සදහා භාවිතා කරලා තියෙනවා. පළාතේ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් කරපු ඉල්ලීම් පදනම් කරගෙන තමයි මේ භාණ්ඩ බෙදලා තියෙන්නේ. ”කියමින් දයාසිරිව ෂේප්කිරීමේ උත්සාහයක යෙදී සිටි ධර්මසිරි සිය කතාවේ අන්තිම හරියේදී එක් වරම පීල්ල මාරු කළේ එතෙක් අතගාමින් සිටි දයාසිරිගේ ඔලූවට ටොක්කක් අනින්නාක් බදු ස්වරයකිනි. ”නමුත් මේ බඩු බෙදද්දී මන්ත‍්‍රීවරුන්ටත් ටිකක් දීලා මීට වඩා විනිවිද භාවයෙන් වැඩ කළා නම් හොදයි. ඒක මම පිළිගන්නනවා. හැබැයි මම නම් එහෙම කරන්නේ නැහැ. මට මොනවා හරි බෙදන්න අවොත් මම විතරක් තනියෙන් බෙදන්න යන්නේ නෑ. සියඵ මන්ත‍්‍රීවරුන් අතරේ බෙදනවා සමානව. මම එදා මේ බඩු බෙදුවා නම් සියඵ මන්ත‍්‍රීවරුන් අතරේ බෙදලා දෙනවා. දැන් ඉතිං වෙච්ච දේට නම් මට කරන්න දෙයක් නෑ. ” ධර්මසිරි කියද්දී මන්ත‍්‍රීවරුන් අත්පොළසන් දෙන්නට වූහ.

මල්රාජ්ට මල පනී.

පළාත් සභා රැස්වීමේ තේ විවේකය සදහා මන්ත‍්‍රීවරුන් පිටව යමින් සිටි අවස්ථාවේදී මන්ත‍්‍රී මල්රාජ් පීරිස් මහ ඇමැති ධර්මසිරි දසනායක වෙත පිඹගෙන ආවේය. ”මේකත් තියාගන්න. මේ එකක්වත් මට එපා.” ඉක්මන් කේන්තිකාරයෙකු ලෙස සැලකෙන මල්රාජ් තමා අතේ තිබූ ලිපියක් මහ ඇමැති ධර්මසිරිගේ මුහුණට දමාගසන්නාක් මෙන් දිගු කරමින් පැවසීය. ”මොනවද ,මොනවද මේ කියන්නේ ?” මල්රාජ්ගේ කේන්තිය පිළිබද හාංකවිසියක් නොදැන සිටි මහ ඇමැති ධර්මසිරි උඩ බිම බලමින් ඇසීය. ” මාව පසු පෙළ ආසනේකට දාලා. අපි මේකේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුනේ මහ ඇමැතිතුමා. ඇයි අපිට මෙහෙම කරන්නේ ? අනික මාව නම්කරලා තියෙන්නේ එකම එක උපදේශක කාරක සභාවකට විතරයි. එතැනිනුත් මට කැපිල්ල. ඒ නිසා මට මේකත් එපා. ඔය මොකක්වක් මට එපා. ” මල්රාජ් කෝපයෙන්ම කීය. මල්රාජ්ගේ කතාව ඇසූ ධර්මසිරි ” සභාපතිතුමා, සභාපතිතුමා ” යැයි කියමින් මල්රාජ්ට අසුන් පැනවීමේදී සිදු වූ අසාධාරණය ගැන කියන්නට සභාපති ටිකිරි අධිකාරිට කතා කළ නමුත් ඊට මදක් ඔබ්බෙන් සභාගර්භය මැදට වී විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු සම`ග බර කතාවකට වැටී සිටි ටිකිරිට ධර්මසිරිගේ කෑගැසීම ඇසුණේ නැත. ඒ නිසාම තවත් මොන මොනවදෝ කියූ මල්රාජ් එතැනින් පිට වී යනු පෙණිනි. වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස අඛණ්ඩවම පළාත් සභාවන් කිහිපයක්ම නියෝජනය කළ මන්ත‍්‍රී මල්රාජ්ට මෙවර පළාත් සභාව නියෝජනය කිරීමට මනාපය හරස් වී ගියේය. ඒ නිසාම පළාත් සභාව තුළ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රී පුරප්පාඩුවක් ඇතිවන තුරු වසර දෙකක් තිස්සේ බලා හිදින්නට මල්රාජ්ට සිදු විය. කෙසේවෙතත් පසුගිය මහ මැතිවරණයේදී සනත් නිශාන්තට පාර්ලිමේන්තුවේ දොර විවරවීමේ අනුහසින් මල්රාජ්ට පළාත් සභාවේ දොර ඇරුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. ඒ අනුව හයවැනි පළාත් සභාවටත් පා තබන්නට වරම් ලැබූ මල්රාජ්ට පසුගිය සභාවාරයන්වලදී මැද පෙළ අසුනක් හිමි වී තිබූ අතර කුමන හෝ හේතුවක් මත පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේදී මල්රාජ්ට වෙන් කර තිබුණේ පසු පෙළ අසුනකි. මන්ත‍්‍රී කමල් ඉන්දික සහ සුමිත් රාජපක්ෂ අතර අසුනක් එදින මල්රාජ්ට වෙන්වී තිබූ අතර තමන්ට වඩා කණිෂ්ඨ මන්ත‍්‍රීවරුන් ඉදිරිපෙළෙහි සහ මැදපෙළෙහි අසුන්ගෙන සිටිනු දැකීමෙන්දෝ මල්රාජ්ට යකා නැග තිබිණි. පළාත් සභාවේ අමාත්‍යංශ උපදේශක කාරක සභා ගණනාවක් පවතින නමුත් මල්රාජ් නම් කර තිබුණේ එකම එක උපදේශක කාරක සභාවකටවීම මල්රාජ්ගේ කෝපය තවත් අවුලවාලන්නට සමත් වී තිබිණි. වසර දෙකක් පළාත් සභාවෙ අසුන් නොගත් නමුත් තමන් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් ලෙස සැලකිය යුතු බවට මල්රාජ් විසින් ධර්මසිරිට පාට් එකක් දමන්නේ එවැනි පසුබිමක් මතය. කෙසේ වෙතත් කෝප සිතින් යුතුව තේ විවේකය සදහා පිටවී ගිය මල්රාජ් මන්ත‍්‍රීවරුන්ගේ භෝජනාගාරයේදී ගැටඵව විසදා ගත් බවක් නම් ‘අඵ යට ගිනි’ වෙත නිශ්චිතවම වාර්තා නොවීය.

58690(4)දෙහිගම මහ ඇමැතිට අදී.

තේ විවේකයෙන් පසුව සභා රැස්වීම ආරම්භ වූ අතර මහ ඇමැති ධර්මසිරි සභාවට එන්නට මදක් පමා විය. ගනපූර්ණය තිබීම නිසා සභාපති ටිකිරි විසින් සභාවේ කටයුතු ආරම්භ කළ අතර එහිදී මුලින්ම ඉදිරිපත් කෙරුණේ අඵතින් ඉදිරිපත් කරන ප‍්‍රශ්න යටතේ විපක්ෂ නායක ශමල් විසින් අපේක්ෂාවෙන් මහ ඇමැති ධර්මසිරි වෙත ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකි. සභාපති ටිකිරි විසින් තමාගේ නම කියැ වූ නිසා නැගී සිටි ශමල් විසින් ධර්මසිරි සභාවේ නොසිටි බව දැක දැකත් සිය ප‍්‍රශ්නය ඉදිරිපත් කළේය. ශමල් ප‍්‍රශ්නය ඉදිරිපත් කර වාඩිවෙනවාත් සමග ආණ්ඩු පක්ෂය පැත්තෙන් නැගී සිටියේ ඇමැති දෙහිගමය. ”ප‍්‍රධාන අමාත්‍යතුමා වෙනුවෙන් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීම සදහා මාසයක කාලයක් ඉල්ලා සිටිනවා.” දෙහිගම කීය. දෙහිගමගේ ක‍්‍රියාව ශමල්ගේ මුවගට සිනාවක් නංවන්නට සමත් වූ අතර ” මහ ඇමැතිතුමාගෙන් කිසිම ඇහීමක් බැලීමක් නැතිව ඔබතුමා එතුමා වෙනුවෙන් උත්තරදීම පිළිබදව මම විරෝධය පළ කරනවා.” යැයි ශමල් සිනාසෙමින්ම කීය. මහ ඇමැති ධර්මසිරි සභාවට ඇතුඵ වූයේ මේ සංවාදය අවස්ථාවේදීය. ” මම කලින් ප‍්‍රශ්නයට මාසයක් කල් ඉල්ලූවා. ” ධර්මසිරි අසුන්ගන්නා අතරේ දෙහිගම කීය. ” ආ. ඒකට කමක් නෑ. මම හිටියත් කරන්නේ ඕකනේ” කී ධර්මසිරි ශමල් විසින්ම ඉදිරිපත් කර ඊළග ප‍්‍රශ්නයට සවන්දීමට සූදානම් විය.

විපක්ෂයේ යෝජනාවලට වෙන දේ ධර්මසිරිගේ කටින් පනී.

පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ජේ. සී. අලවතුවල සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හෙක්ටර් අප්පුහාමි විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා දෙකක් පෙරේදා සභා රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතව තිබිණි. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටද ලක්ෂ 50 මුදලක් පළාත් ආයෝජන සැලැස්ම යටතේ ලබාදිය යුතු බවට හෙක්ටර්ගේ යෝජනාවේ සදහන් වූ අතර මහින්දෝදය විද්‍යාල සංකල්පය යටතේ ප‍්‍රාථමික අංශ පන්ති ඉවත් කෙරුණු පාසල් පිළිබදව සමාලෝචනයක් කිරීමෙන් පසුව යළි එම පාසල්වල ප‍්‍රාථමික පන්ති ආරම්භ කළ යුතු බවට අලවතුවල විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවේ සදහන් විය. සභාපති ටිකිරි අධිකාරි විසින් මේ යෝජනා දෙක පිළිබදව සභාවට නිවේදනය කරද්දී නැගී සිටියේ මහඇමැති ධර්මසිරිය. ”මේ යෝජනා පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙම යෝජනා උපදේශක කාරක සභාවට යොමු කිරීමට මම යෝජනා කරනවා. ”ධර්මසිරි කීය. අනතුරුව නැගී සිටි මන්ත‍්‍රී පියුමාල්ද හෙක්ටර්ගේ යෝජනාවේ රීති ප‍්‍රශ්නයක් ඇති බැවින් එය නීති විරෝධි සහ වැරදි යෝජනාවක් බැවින් එය සභාවේදී විවාදයට ගැනීමට නොහැකි බව කීය. ඒ නිසා අදාල යෝජනාව උපදේශක කාරක සභාවට යැවීමේ තේරුමක් නැති බවත්, කල යුත්තේ න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කිරීම බවත් පියුමාල් වැඩිදුරටත් කීය. ” ඔබතුමාගේ යෝජනාව සීයට සීයක්ම පිළිගන්න නිසා තමයි මම මේක උපදේශක කාරක සභාවට යවන්න හදන්නේ. මොකද මේ යෝජනා සභාවෙන් අයින් කරන්න මට අයිතියක් නෑ. නමුත් මේ යෝජනා උපදේශක කාරක සභාවට ආවාම මම එතැනින් අයින් කරලා දානවා. ආයේ ඒකේ දෙකක් නෑ. ” මහඇමැති ධර්මසිරි ඇගට පතට නොදැනී කියද්දී සභා ගැබ සිනාහඩින් පිරි ගියේය. විශේෂයෙන්ම ධර්මසිරිගේ කතාවට පියුමාල්ට ඇති වූ සිනහව නවතාගන්නට සෑහෙන වෙලාවක් ගත විය. පියුමාල් බක බක ගා සිනාසෙනු දුටු ධර්මසිරි යළිත් පියුමාල් දෙසට හැරී ”වැ‍ඩේ හරි නේද ” යැයි ඇසීමත් සමග සභාව යළිත් වරක් සිනාහඩින් පිරි ගියේය.

කර්නල්ගේ මන්ත‍්‍රීකම නූලෙන් බේරෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී මල්හාමි රත්නායකගේ මන්ත‍්‍රීධූරය අහිමිවීම නූලෙන් ගැල වී ගියේද පසුගිය අගහරුවාදාය. වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියඵදෙනාම පාහේ ‘ කර්නල් ’ යනුවෙන් අමතන්නට පුරුදු වී සිටින මන්ත‍්‍රී රත්නායකගේ මන්ත‍්‍රී ධූරය රැකුණේ අභියාචනාධිකරණයේ පිහිටෙනි. පසුගිය ජනාධිපතිවරණය කඩ උඩ තිබියදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආයුබෝවන් කියූ මන්ත‍්‍රී රත්නායක පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය පැත්තට ‘තිස්ස අත්තනායක පන්නයේ’ කරණමක් ගැසූවේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මන්ත‍්‍රී රත්නායක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් මෙන්ම වයඹ පළාත් සභා මන්ත‍්‍රීකමෙන්ද නෙරපා හැරීමට පක්ෂ නායක සරත් ෆොන්සේකා ඇතුඵ විනය මණ්ඩලයක් විසින් කටයුතු කළේය. ෆොන්සේකාගේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් මන්ත‍්‍රී රත්නායක සහ ඔහු සමග පිල්මාරුවේ යෙදුණු තවත් පළාත් සභා දෙකක් නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද එක් වී තමන් පක්ෂයෙන් සහ මන්ත‍්‍රීධූරවලින් නෙරපාහැරීම වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ පිහිට පැතූහ. මන්ත‍්‍රීවරුන්ගේ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය මන්ත‍්‍රී රත්නායක ඇතුඵ මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රීධූරවලින් නෙරපාහැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර ඒ අනුහසින් මන්ත‍්‍රී රත්නායකට මේ දක්වාම වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමට පැමිණ සිටි මන්ත‍්‍රී රත්නායක පළාත් සභාව රැස්වීමේ පැය භාගයක් කාලයක්වත් රුදී සිටියේ නැත. නඩුවට යන්න තියෙනවා යැයි කියමින් ඔහු කල්වේලා ඇතිවම පළාත් සභාවෙන් පිට වී ගියේය. එලෙස පළාත් සභාවෙන් පිටවී ගිය මන්ත‍්‍රී රත්නායක කෙලින්ම ගියේ කොළඹ අඵත්කඩේ පිහිටි අභියාචනාධිකරණය වෙතය. එහිදී මන්ත‍්‍රී රත්නායකගේ ඉහේ මල් පුබුදුවමින් මන්ත‍්‍රීධුරය සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ෆොන්සේකා ඇතුඵ විනය මණ්ඩලය විසින් ගත් තීරණය නිශ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

කුස්සි මුල්ලකට විසි කර තිබූ අවලංගු කාසිවලට පළාත් සභාවෙන් වටිනාකමක් දෙයි.

වයඹ සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් සංවිධානය කළ ‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි අවසන් මහා තරගය පසුගිය සිකුරාදා රාත‍්‍රියේදී පැවැත්වුණේ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදීය. එම තරගයේ කාන්තා අංශයේ ශූරතාවය උඩුබද්දාවේ පර්ල් විජේවික‍්‍රම විසිනුත්, පිරිමි අංශයේ ශූරතාවය අලව්වේ ඊ. ජී. දයාරත්න විසිනුත් එහිදී දිනා ගනු ලැබූහ. ‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි අවසන් මහා තරගයෙහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබුවේ ප‍්‍රවීන සංගීත ශිල්පීන් වන සනත් නන්දසිරි, එඞ්වඞ් ජයකොඩි සහ රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි විසිනි. අවසන් මහා තරගය නැරඹීම සදහා ඇමැති දයාසිරි , පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලවතුවල, ආණ්ඩුකාර අමරා පියසීලී , මහ ඇමැති ධර්මසිරි , ඇමැති වේඩරුව, ඇමැති සන්ධ්‍ය මෙන්ම මෙරට සුප‍්‍රක‍්‍රට ව්‍යාපාරිකයෙකු වන ලේල්වල ජී ගොඩකන්ද ද එක් වී සිටියහ. උත්සවය වඩාත් රසවත් වූයේ විනිශ්චය මණ්ඩලයේ වාඩි වී සිටි සනත් නන්දසිරි විසින් සිය බිරිද වූ මල්කාන්ති නන්දසිරිට එල්ල කළ උපහාසයන් හේතුවෙනි. තරගකරුවන්ගේ ගායන හැකියාව පිළිබදව අදහස් දක්වන අත‍රේ සනත් නන්දසිරි මල්කාන්තිටද හින්ට් පාස් කළේ වරක් දෙවරක් නොවේ. ” අපිත් මෙහෙම හිටියට වියපත් අය තමයි. හැබැයි ඒ මම විතරයි. මොකද මල්කාන්ති කැමැති නෑ එයා වයසයි කියලා කියන්න. මල්කාන්තිට මල්ලිලා දෙන්නෙක් ඉන්නවානේ. ඒ එක මල්ලි කෙනෙක් මල්කාන්තිට වඩා වැඩිමල් කියලා තමයි එයා මුලින් කිව්වේ. තව ටික දවසක් යනකොට අනිත් මල්ලිත් මල්කාන්තිට වඩා වැඩිමල් වුණා. දැන් අපේ දුව මේ ළගදී කියනවා, තාත්තේ මේ යන විදිහට මම අම්මටත් වැඩිමහල් වෙයිද කියලා” සනත් නන්දසිරි කියද්දී මුඵ ශාලාවම සිනාහඩින් ගිගුම් දුන්නේය. රූපා ඉන්දුමතී උත්සවයට ආවේ මදක් පමා වෙලාය. විනිශ්චය මණ්ඩලයේ අසුන් ගත් ඉන්දුමතීට තමා පිටුපසින් අසුන්ගෙන සිටි මැති ඇමැතිවරුන් අතර සිටි දයාසිරිව හදුනාගැනිමට හැකි වූයේ ටික වේලාවකට පසුවය. එසැණින් පසුපසට හැරී දයාසිරි සමග වචන කිහිපයක් කතා කළ ඉන්දුමතී තමාට අදහස් දක්වන්නට ලැබුණු අවස්ථා‍වේ දයාසිරි ගැන වචනයක් කියන්නටද අමතක නොකළාය. ” අද මේ සින්දු කියන අය වගේම මෙතැන ඉන්න අපේ දයාසිරි ඇමැතිතුමත් දක්ෂයෙක් .” යැයි ඉන්දුමතී කීවාය. ” හැබැයි මම එච්චර වයස නෑ. ” දයාසිරි පසුපස අසුනේ සිටම ඉන්දුමතී නිවැරදි කළේය. කෙසේවෙතත් තරගය අතරතුරදී සනත් නන්දසිරි යෝජනා කළේ පළාත් සභාවෙන් මෙච්චර හොද වැඩක් කළ එකේ තවත් ටිකක් ඉදිරියට ගොස් මේ වැඩිහිටියන්ගේ ගීත ඇතුළත් සී ඞී තැටියක් නිකුත් කරන ලෙසයි. ඊට ක්ෂණික ප‍්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වූ ව්‍යාපාරික ගොඩකන්දය. ගොඩකන්ද මහතා විසින් අදාළ සී ඞී තැටියෙහි අනුග‍්‍රාහකත්වය දරන්නට ඉදිරිපත් වූයේ නරඹන්නන්ගේ අත්පොළසන් මැද්දේය. කෙසේ වෙතත් වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ කමල් අමරසිංහගේ නායකත්වයෙනුත්, වයඹ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් ගුණවර්ධනයන්ගේ නිර්මාණාත්මක මහන්සියෙනුත් පළමුවරට එළි දුටු ‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලිය ඇසූ දුටු කොයි කවුරුත් එය හැදින්වූයේ පළාත් සභාව විසින් කාලකෙට පසු කළ හොද වැඩක් ලෙසිනි. විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩලයේ වාඩි වී සිටි ප‍්‍රවීනයින් අතින් මෙම වැඩසටහන මහත් සේ ඇගයීමට ලක් විය. මෙම තරගාවලියේ අවසන් වටයේදී තරග වැදුණු වැඩිහිටියන් කෙතරම් දක්ෂ සහ මිහිරි අන්දමින් ගීත ගායනා කළාදැයි කිවහොත් ඔවුන්ගේ ගායන කෞශල්‍යය ඇතැම් විටෙක ඇසට කදුඵ නැංවීමට පවා සමත් විය. මේ සියල්ලටමත් වඩා ජීවිතයේ සැදෑ සමයන් ගෙවා දමමින් සිටින වැඩිහිටියන් වචනයෙන් කිව නොහැකි තරමේ වින්දනයක් සහ පිළිගැනීමක් මෙම තරගය හරහා ලැබූ බවක් දකින්නට ලැබිණි. මේ වැඩිහිටියන්ගෙන් බොහෝ දෙනෙකුට සුවිසල් වේදිකාවක් මත, රටම දන්නා හදුනන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ , දැවැන්ත ජනකායක් හමුවේ ගී ගැයීමට අවස්ථාව ලැබී තිබුණේ ජීවිතයේ පළමුවරට වුවත් ඔවුන් විසින් එම අවස්ථාවට කිසිදු චකිතයකින් තොරව මුහුණදුන් අයුරු පැහැදිලිවම දැකගත හැකි විය. ‘විය සපිරි, තරු සුපිරි ’ගායන තර`ගාවලියෙහි සම්පූර්ණම සාරයම සහ එහි සාර්ථකත්වය වචන තුන හතරකට කැටි කෙරුණු අවස්ථාවක් විය. ඒ කාන්තා අංශයේ ශූරතාවය දිනූ පර්ල් විජේවික‍්‍රම මාතාව සම්මානයට ප‍්‍රාත‍්‍රවීමෙන් අනතුරුව කතා කළ වචන කිහිපයෙනි. ” කුස්සියේ මුල්ලකට විසිකරලා දාලා තිබුණු අවලංගු කාසි වගේ හිටිය අපිට මෙහෙම තැනක් හදලා දුන්නු හැමෝටම පිං. ” පර්ල් මාතාව සිය ජයග‍්‍රාහී කුසලානයද තුරුඵකරගෙන වේදිකාව මතදී කීවේ දැඩි හැගීම්බර ස්වරයෙනි. ඇගේ කතාවේ තිබූ සංවේදී බව හේතුවෙන්ම උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටි සමාජ සුබසාධන අමාත්‍යංශයේ නිලධාරිනියන් ඇතුඵව පළාත් සභා ශ‍්‍රවණාගාරයෙහි අසුන්ගෙන සිටි බොහෝ දෙනෙකුගේ දෙනෙත් කදුඵන් පිරී ගිය බවක් පෙණිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, නොවැම්බර් 05 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article