Sunday, January 19, 2025

ගලවන්නැයි සුහද කොකා – කුරුණෑගල නටයි යකා !

Must read

පසුගිය දීපවාලි දින ‍රාත්‍රියේදී ‘සුහද කොකා’ චිත්‍රපටයේ දර්ශණය වාරයක් තිරගතවෙමින් තිබියදී කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවට කඩාවැදුණු යම් පිරිසක් විසින් සිනමා ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරෙන්නටවීම අදාළ චිත්‍රපටය නරඹමින් සිටි ප්‍රේක්ෂකයින්ට දැඩි අපහසුතාවයකට පත්වන්නට සිදු වූ බවත්, තත්වය පාලනය කිරීම සදහා පොලිසිය ගෙන්වීමට පවා සිදු වූ බවත් ‘ වයඹ ටුඩේ ‘ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

සිනමා ශාලාවට කඩාවැදුණු මෙම පිරිස විසින් එහි කළබල කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද එලෙස අපහසුතාවයට පත් වූ අය විසින් වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වෙත එවා තිබේ.

මෙම කලබලය ඇති වී ඇත්තේ පසුගිය අගහරුවාදාට යෙදුණු දීපවාලි දින රාත්‍රියේදීය. එදින රාත්‍රි 7.30ට ‘සුහද කොකා’ සිංහල චිත්‍රපටයේ දර්ශණ වාරයක් සහ රාත්‍රී 9.30 ට ‘ වේදාලම් ‘ දමිළ චිත්‍රපටයේ දර්ශණ වාරයක් පැවැත්වීමට ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමනාකාරීත්වය විසින් කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් නිවාඩු දිනයක් වූ බැවින් ‘සුහද කොකා’ චිත්‍රපට දර්ශණය සදහා ශාලාව පිරී යන තරමේ ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි ඇති අතර ඒ අතර සියලු‍දෙනාම පාහේ පවුල් පිටින් චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි අය බව කියැවේ. කෙසේවෙතත් රාත්‍රි 7.30ට ආරම්භ වූ ‘සුහද කොකා’ චිත්‍රපටය නරඹමින් සිටි පිරිසට රාත්‍රී 8. 30ට පමණ ශාලාවෙන් පිටත රැදී සිටි පිරිස්වලින් දැඩි ලෙස බාධා එල්ල වී ඇති බව වාර්තා ‍වෙයි.

‘සුහද කොකා’ චිත්‍රපටයේ දර්ශණ වාරය අතරමග නවත්වා රාත්‍රී 9.30 ට ප්‍රදර්ශනය කිරීම‍ට නියමිතව තිබූ ‘ වේදාලම් ‘ චිත්‍රපටයේ දර්ශණය කලින් ආරම්භ කරන ලෙසට අයුක්තිසහගත ඉල්ලීමක් කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති මෙම පිරිස සිනමා ශාලාවේ දොරවල්වලට තඩිබාමින් සහ කෑ කෝ ගසමින්, හූ කියමින් මහත් කලබගෑනියක් කළ බව වාර්තා වෙයි. මේ කලහකාරී පිරිසෙන් කිහිප දෙනෙකු සිනමා ශාලාවට කඩාවැදී එහි දර්ශණ තිරය ඉදිරිපිටට නැගී කලබල කරන අයුරුද අප වෙත ලැබී ඇති ඡායාරූපවල දැක්වෙයි.

කෙසේ වෙතත් මේ අවස්ථා‍වේදී තත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් පිරිසක් එහි ගෙන්වාගැනීමට ඇති ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමනාකාරීත්වය විසින් කටයුතු කර ඇති අතරම පිටත රැදී සිටි පිරිසගේ දැඩි බාධාකිරීම් මධ්‍යයේම ‘සුහද කොකා’ චිත්‍රපටයේ දර්ශණය අඛණ්ඩවම පවත්වාගෙන ගොස් තිබේ.

අදාළ කලහකාරී පිරිස් විසින් සිනමා ශාලාවේ ඉදිරිපස දොරටු ආක්‍රමණය කර සිටීම නිසා ‘සුහද කොකා’ දර්ශණය නිමවීමෙන් අනතුරුව එය නැරඹූ පිරිස සිනමා ශාලාවේ පිටුපස දොරටුවෙන් පිටත්කර යැවීමට පොලිසිය සහ ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමනාකාරීත්වය එක්ව කටයුතු කර තිබේ.

නමුත් ‘සුහද කොකා’ ප්‍රේක්ෂක පිරිස තවදුරටත් අපහසුතාවයට පත්කරවමින් අදාළ කලහකාරීන් විසින් සිනමා ශාලාවේ ගේට්ටුවලට ඉබි යතුරු දමාතිබීම නිසා එම ඉබි යතුරු කඩා වාහන සිනමා ශාලාවෙන් පිටතට ගැනීමට සිදු වූ බව ‍අපහසුතාවයට මුහුණ දුන් ප්‍රේක්ෂකයෝ කියති. එමෙන්ම මෙම කලහකාරී තත්වය පාලනය කිරීම සදහා පොලිසිය සහ ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමනාකාරීත්වය මීට වඩා උනන්දුවකින් කටයුතු කිරීමට තිබූ බවද ඔවහු වැඩිදුරටත් කියති.

කෙසේවෙතත් මෙම සිද්ධිය ගැන අප දකින්නේ පසුගිය කාලයේ විවිධ පිරිස් විසින් කුරුණෑගල නගරය මුල්කරගනිමින් අවුලවාලන්නට උත්සාහ කළ ගිනි පුපුරක් යළිත් වරක් දැල් වී ඇති බවය බවය. එය ගින්නක් බවට පත්නොවී එතැනම නිවී ගියේ ඇතැම්විට එය කුරුණෑගල ජනතාවගේ වාසනාවට විය හැකිය. සිංහල වේවා, දෙමළ වේවා කාගෙත් රසවින්දනය එත සමානය. ඊට බාධාකරන්නට කිසිවෙකුටත් අයිතියක් නැතිවා සේම තමා කැමැති චිත්‍රපටයක් නිදහසේ බැලීමට, ගීතයක් ඇසීමට මෙරට ජීවත්වන හැම පුරවැසියෙකුටම අයිතියක් ඇත්තේය. එබැවින් අබ ඇටයක් තරම‍ට මොලයක් නැති පිරිසක් විසින් ඉම්පීරිල් සිනමා ශාලාවේ කළ මෙම යකා නැටිල්ල තව නූලක් එහා මෙහා වූයේ නම් එය පිටතට එන්නේ ජාතිවාදී ගැටුමක් ලෙසය. අප කාගේත් වාසනාවටදෝ සිද්ධිය එතරම් දුරදිග නොගියේය. ජාතිවාදීන්ගේ කිතිතැවීම් අස්සේ අදටත් සාමකාමී පරිසරයක පවතින කුරුණෑගල නගරය හෙට දිනයේත් එලෙසම පවත්වාගැනීම එහි වාසය කරන සිංහල , දෙමළ සහ මුස්ලිම් හැම පුරවැසියෙකුගේම වගකීමකි.

තමිල්නාඩු චිත්‍රපට බැලීම මිස තමිල්නාඩු දර්ශණ රගදක්වන්නට යාම ලංකාවට ගුණදායක නොවන බවත්, තමිල්නාඩු අදහස්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් අදාළ චිත්‍රපටයට පමණක් සීමා කළ යුතු බවත් කවුරු කවුරුත් සිතාගත යුත්තේ එහෙයිනි !

suhada_koka2 suhada_koka1 suhada_koka3 suhada_koka4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article