ඉතිහාසයට අයත් ඇතැම් සිදුවීම් බලපොරොත්තු නොවූ මොහොතක සිදු වුවද කොතරම් බිය ඉපදවීමට ඒවා සමත් වුවද ඒවා සම්පූර්ණයෙන්ම සෘනාත්මක සහ දුක්ඛදායක වූයේ නැත. කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබූ ධනාත්මක පැතිකඩක් වනුයේ එම කාල සීමාව තුළ දුක් විඳින හෝ දඩාවතේ යන සතුන් පිළිබඳ මිනිසුන් දැක්වූ සැලකිල්ලය. සුනඛයන්, බළලුන්, පරෙවියන් හා කපුටන් වැනි පක්ෂීන් පිළිබඳව පවා ඔවුන් දක්වා තිබෙන කරුණාව ඇගයීමට ලක් විය.
මැයි 27 වෙනිදා දිවයින පුරා බලාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් බොහෝ පුද්ගලයන් කරකියාගත නොහැකි තත්ත්වයකට ඇද වැටුණි. එදා වේල සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇතැමුන්ට ගෙවීමට සිදු වූයේ කටුක කාල සීමාවක්ය. නමුත් යමක් කමක් ඇති මිනිසුන් නැති බැරි පුද්ගලයන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. පෞද්ගලික මට්ටමින් සිදු කරන ලද මෙවැනි උපකාර වැඩිදෙනාගේ අවධානයට ලක් නොවුවද ඇතැමුන් සතුන් කෙරෙහි කරුණාව දැක්වූ අවස්ථා කැපී පෙනිණ.
ඇතැම් ගම්බද පළාත්වල සුනඛයන් කුසගින්නේ මිය යන බවට වාර්තා විය. දැනට අප සතු දත්ත අනුව කොපමණ වාර ගණනකදී මිනිසුන් එවැනි අසරණ සතුන්ට පිහිට වූයේද කියා අපි නිශ්චිතවම නොදනිමු. එමෙන්ම කොතරම් සුනඛයන් සංඛ්‍යාවක් කුසගින්නෙන් දිවි කෙළවර කර ඇත්දැයි අපි කොහෙත්ම නොදනිමු.
නමුත් කොළඹ ප්‍රදේශයේ බොහෝදෙනා දඩාවතේ යන සුනඛයන්ට සහ බළලුන්ට ආහාර ලබා දීමට දායක වූ බව වාර්තා විය. කාර්, වෑන් සහ ත්‍රීරෝද රථවලින් ගොස් ඔවුන් එසේ කරන අයුරු දැකගත හැකි විය. ඇතැම් පුද්ගලයෝ ගෙවුණු මාස දෙකක ඇඳිරි නීති කාලය පුරාවටද තවත් පුද්ගලයෝ ඉඳ හිටද එසේ කළහ. මෙම පරිත්‍යාගශීලි ක්‍රියාව හේතුවෙන් කොළඹ නගරය තුළ දඩාවතේ යන සතුන් බොහෝදෙනෙකුගේ කුසට අහරක් ලැබූ බවත් එම සතුන්ගේ දිවි රැකුණු බවත් කිසිඳු සැකයක් නොමැතිය.
මාස කිහිපයකට ඉහතදී දඩාවතේ යන මෙම සතුන්ව තර්ජනයක් ලෙසට සලකා ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමේ අදහසක් තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් කොරෝනා වෛරසය හමුවේ බොහෝදෙනා මේ පිළිබඳව දැරූ මතය වෙනස් වී ඇති බවක් පෙනෙන්ට තිබේ. සියලුම ජීවීන්ට අපගේ මිහිතලය මත සහ එහි නගරවල ජීවත් වීමට ඉඩ ලබා දිය යුතු බවත් දැන් වැඩිදෙනාගේ අදහස වී තිබේ. කොරෝනා වසංගතය අතර මිනිසුන් තුළ විදහා දැක්වුණු මහත්මා ගතියේ සුවඳ වසංගතයේ දුගඳ අවසන් වූ පසුත් කොළඹ සහ අනෙකුත් නගර තුළ දක්නට ලැබේවියැයි පැතුමය.
සතුන්ට ආහාර පාන ලබා දීමට වඩා බේත් හේත් කිරීම දුෂ්කර කාර්යයක්ය. කොරෝනා හමුවේ පශු වෛද්‍ය සායන වසා දැමෙද්දී, ඇඳිරි නීතිය හේතුවෙන් පශු වෛද්‍යවරුන්ට නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරීමට නොහැකි වෙද්දී සතුන්ගේ අයිතිකරුවන් අතරමං විය. මෙම කාරණා හේතුවෙන්ද ඇතැම් සතුන් මිය ගොස් තිබිය හැකි නමුත් එවැනි සිදු වීම් වාර්තා නොවේ.
දියවන්නා ඔය ඉදිරිපිට පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර පශු වෛද්‍ය රෝහල කොළඹ නගරයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ පශු වෛද්‍ය සායන අතරින් එකක්ය. එය අවුරුදු 23ක් පුරා සේවා සපයන ආයතනයක්ය. වෛද්‍ය මොල්ලිගොඩ මහතා උදේ වරුවේද වෛද්‍ය කරුණානමගේ මහතා සවස් වරුවේද එහි සේවය සපයන අතර පශු වෛද්‍ය සහායකයන් ලෙස උපාලි සහ සංජීව සේවා සපයති.
මැයි 18වෙනි සඳුදා ඇඳිරි නීතිය ලිහිල් වූ විට මෙම සායනය නැවත විවෘත කරන ලදි. අසනීප වූ බළලෙකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා දින දෙකකට පෙර මා එහි ගිය විට අසනීප සතුන් රැගෙන පැමිණ සිටි පුද්ගලයන්ගෙන් එම ස්ථානය පිරී ඉතිරී යන අයුරු දක්නට ලැබිණ. ඇතැමුන් සායනයට ඇතුල් වීම සඳහා පැයකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටියහ.
මෙසේ රැඳී සිටීමේදී මා නෙත ගැටුණු තවත් සුවිශේෂී දෙයක්ද විය. එය නම් එම සායනයට රැගෙන ඇවිත් සිටි ඇතැම් සතුන් නිවසේ ඇති කරන සතුන් නොවීමය. ඇතැම් පුද්ගලයන්ගේ නිවෙස් ඉදිරිපිට දමා ගොස් සිටි සුනඛ පැටවුන් සහ බළලුන්ව මෙම අසීරු කාලය තුළදී පවා ප්‍රතිකාර කිරීමට රැගෙනවිත් තිබීම හද සතුට දනවන දසුනක් විය.
ගෝලීය වසංගතයක් පැතිර යන අඳුරු යුගයක මෙවැනි පුවත් අසන්නට ලැබීම සුවදායකය. මෙවැනි මොහොතක උපකාර අවැසි වන පුද්ගලයන්ගේ ලැයිස්තුව දිගුය. එම ලැයිස්තුවේ අවසානයට එක් වන්නේ මිහිමත දිවි ගෙවන සතුන්ය. මින් ඉදිරියටද මිනිසුන්ගේ රැකවරණය යටතේ ජීවත් වන සතුන්ට දිගටම කරුණාව පෙන්වා ඔවුන්ව රැකගැනීම අප සතු වගකීමක්ය.
(Daily Mirror පුවත්පතට ගාමිනී අක්මීමන විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක