Sunday, January 19, 2025

කුලියාපිටිය මැදි විදුහලේ සිසුන් අටදෙනෙකු රිමාන්ඩ් !

Must read

cck_gutikeli3කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තුළදී තියුණු ආයුධ පවා භාවිතා කරමින් ගුටිබැට හුවමාරුකරගත් බව කියන එම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින උසස්පෙළ සිසුහු අටදෙනෙකු හෙට ( 20දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ජේ. එම්. ගුණතිලක මහතා අද නියම කළේය.

මෙලෙස එසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 12 වැනි ‍ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුන් දෙදෙනෙකු හා 13 වැනි ‍ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුන් හය දෙනෙකි.

මෙම සිසුන් බන්ධනාගාරය තුළදී සෙසු සිරකරුවන්ගෙන් වෙන්ව රදවා තබන ලෙසට නියම කළ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට සහ විනය භාර ගුරුවරයාටද හෙට දිනයේදී කුලියාපිටිය ‍මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද වැඩිදුරටත් නියම කළේය.

පෙරේදා (17 ) දිනයේදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකට අදාළව කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සිසුන් පිරිස අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සැකකාර සිසුන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ කුලියාපිටිය පොලිසිය මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකුට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන්නට සිදු වූ බවටත්, ඊට අමතරව විද්‍යාලයේ පොදු දේපලවලට සිසුන් විසින් අලාභහානි කර ඇති බවටත් ‍අධිකරණය වෙත දන්වා සිටියේය. පොලිසිය විසින් අවස්ථා කිහිපයකදීම මෙම විදුහලට ගොස් දේශන සහ උපදේශන සේවා පවත්වා ආරවුල් ඇතිකරගැනීමේ ආදීනව පිළිබදව සිසුන් දැනුම්වත් කර තිබියදී ඒ පිළිබදව නොතකා සිසුන් විසින් මෙලෙස ගැටුම් ඇතිකරගෙන ඇතැයිද පොලිසිය අධිකරණය හමුවේ කීය.

මීට පෙර අවස්ථාවක කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේද මෙවැනි සිසු ගැටුමක් ඇති වූ බවත්, එම විදුහලේ විදුහල්පතිවරයා අධිකරණයට ගෙන්වා අභ්‍යන්තර පරිපාලනයේ ඇති දුර්වලතා නිවැරදි කරගන්නැයි අවවාද කළ ආකාරයටම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාද අධිකරණය වෙත ගෙන්වා අවවාද කරන්නේ නම් මෙම තත්වය යම් පාලනයකට ලක්කරගතහැකි බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කීය.

සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය වෙත කරුණු දක්වමින් ප්‍රකාශකළේ මෙවැනි සිසු ගැටුම් පාසල තුළ දිගින් දිගටම වූ සිදුවී ඇති බවට තොරතුරු ඇති බවත්, පාසල් සිසුන් අතර ඇතිවන ආරවුල් සාමාන්‍ය දෙයක් වුවත් මෙවැනි ආකාරයේ හැසිරීම් දිගින් දිගටම සිදුවන්නේ නම් එය පාසලේ පරිපාලන දුර්වලතාවයක් බව පිළිගන්නා බවය. මීට පෙර අවස්ථාවේ සාරානාත් විදුහලේ සිදුවීමේදී අධිකරණය ගත් ක‍්‍රියාමාර්ගයටත් මෙන්ම පොලිසිය සිදු කළ මෙහෙයටත් ස්තුතිවන්ත වන බව පැවසූ නීතිඥයින් සැකකාර සිසුන් වෙනුවෙන් ඇප අයැද සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හෙට දිනයේදී ප්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ ඇප අයැදීම සිදුකරන ලෙස නීතිඥයින්ට දන්වා සිටියේය.

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්ධුල විජයලත්, උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා සහ උප පොලිස් පරීක්ෂක ජයතිස්ස සහ පොලිස් සැරයන් ධර්මසිරි (29269) යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥවරුන් වන චම්පික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු, මායාදුන්නේ සෙනවිරත්න, අමිල කාරියවසම්, දහම් රාජපක්‍ෂ,අනුරසිරි දිසානායක, නාමල් ජගත් බණ්ඩාර යන මහත්වරුන් සැකකාර සිසුහු වෙනුවෙන් පෙනීසිටියහ.

මෙම නඩුව හෙට දිනයේදී කුලියාපිටිය ‍මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article