නාදුනන පිරිසක් විසින් එල්ල කළ ගල් ප්රහාර දෙකක් හේතුවෙන් කුරුණෑගල නාගරික මන්ත්රී (එ.ජ.නි.ස. ) චූලා මෙන්ඩිස් මහතාගේ නිවසට සහ ඒ මහතාගේ ආධාරකරුවෙකුගේ නිවසකට අලාභහානි සිදු වී තිබේ.
කුරුණෑගල – පුත්තලම් පාරේ, අත්ථදස්සී මාවතේ පිහිටි චූලා මෙන්ඩිස් මහතාගේ නිවසට සහ ඒ ආසන්නයේම පිහිටි ඔහුගේ ආධාරකරුවෙකු බව කියන වීරවංශ එදිරිසිංහ මහතාගේ නිවසට ඊයේ අඵයම 4 ට පමණ මෙම ගල් ප්රහාරයන් එල්ල වී තිබේ. ප්රහාරයට පැමිණි පිරිස විසින් එල්ල කළ ගල් ප්රහාරවලින් චූලා මෙන්ඩිස් මහතාගේ නිවසෙහි ජනේලයක් බිදී ගොස් ඇති අතර , එලෙස එල්ල කළ ගලක් බිදී ගිය ජනෙල් අතර රැදී තිබෙනු දැකගත හැකි විය. ගල් පහරවල් හේතුවෙන් වීරවංශ එදිරිසිංහ මහතාගේ නිවසේ බිත්තියකටද සුඵ අලාභහානි සිදු වී තිබේ.
ප්රහාරය පිළිබදව අදහස් දැක් වූ කුරුණෑගල නාගරික මන්ත්රී චූලා මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය.
‘‘අපි ඒ වෙලාවේ කුස්සිය පැත්තේ හිටියේ. එකපාරටම ඩෝං ගාලා විශාල සද්දයක් ඇහුණා. අපි ඉස්සරහට දුවගෙන ඇවිත් බලද්දී මේ ජනේලේ බිදිලා තිබුණා. වටේ පිටේ අය එකතුවෙලා ගල් ගහපු කෙනෙක් ගැන හොයලා බැලූවත් එහෙම ආපු කෙනෙකුගේ සළකුණක්වත් දකින්න ලැබුණේ නෑ. මගේ දේශපාලන ජීවිතයේ හෝ පුද්ගලික ජීවිතයේ මට කිසිම තරහකාරයෙක් නෑ. ඒ නිසා මේ ප්රහාරය මොන අරමුණකින්, කවුරු විසින් කළාද කියලා මට හිතාගන්න බැහැ. ’’යැයි පැවසීය.
කුරුණෑගල මූලස්ථාන පොලිසිය ප්රහාරය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.