හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියකගෙන් අල්ලස් ගැනීමට උත්සාහා කිරීමේ චෝදනාව මත හලාවත සහකාර පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිදුවීමට කෝවිලේ ඇති හක්ගෙඩි සිදුවීමක් හේතුවී තිබේ. දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා ඉයේ  (22) නියම කර ඇත.medine-mauritius-hindu-god-and-kali-at-tamil-hindu-temple-for-sugarcane-CY1NWCඅල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ  (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතා එලෙස රිමාන්ඞ් බාරයට පත් කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ලබන 04 වැනිදා සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හලාවත කාලි දේවාලයේ තිබු වාලම්පුරියක් අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව එහි දේවගැතිවරිය විසින් හලාවත පොලිසියට පැමිණිල්ලක් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ කටයුත්තක් සඳහා හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා දේවාලයට පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී දේවාලයේ තවත් හක් ගෙඩි ඇතු`ථ ද්‍රව්‍ය තිබෙනු ඔහු නිරීක්‍ෂණය කොට ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අවස්ථාවේදී හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කෝවිලේ දේවගැතිවරිය අමතා මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතී මඟින් ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් ඇය  අත්අඩංගුවට ගැනීමට හැකි බවත් දැනුම් දී ඇතැයිද පැවසීය.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කෝවිලේ දේවගැතිවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇතැයිද ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍ය බව ඔහු දැනුම් දී ඇතැයිද පසුව කළ ඉල්ලීමකදී 1,90,000/- ක මුදලක් ලබාගැනීමට ඔහු එකඟ වී ඇතැයිද පැවසු අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ විමර්ශන ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

තොරතුරු/ ලංකාදීප