Sunday, January 19, 2025

කහටගහ පතල් සටනේ නොකියැවුණු කතා !

Must read

kahatagaha_oct_10_1දොඩම්ගස්ලන්ද, කහටගහපතල පුද්ගලීකරණය කිරීමේ කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවට කර්මාන්ත සහ වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලබාගනිමින් පුද්ගලීකරණයට එරෙහිව දින අටක් තිස්සේ ගෙනගිය වෘත්තීය අරගලය ජයගැනීමට ඉකුත් 27 වැනිදා රාත‍්‍රියේදී කහටගහ පතල් සේවකයෝ සමත් වූහ. පසුගිය 19 වැනිදායින් ආරම්භ වී 27 වැනිදා දක්වා වූ දින අටක කාලය පුරා අඛණ්ඩව ගලාගිය පතල් සේවක සටන දුක්, කදුඵ, සෝ සුසුම් සහ ආවේගයන් මැද ඉදිරියට ඇදුණු අරගලයක් විය. තම වැඩබිම නොවිකුණන්නැයි ඉල්ලා විටෙක උද්වේගකර අයුරින් සටන් වැදුණු පතල් සේවකයින්, උපවාසයේ යෙදුණු තම සහෝදර සගයින් එකා පිට එකා සිහිසුන් වෙද්දී එය උහුලාගත නොහැකිව හඩා වැළපුණහ. පතල් සටනේ ආරම්භයේ සිට අවසන් මොහොත දක්වාම කහටගහපතල් භූමියේ සිට අඛණ්ඩවම වාර්තාකරණයේ යෙදුණු එකම වෙබ් මාධ්‍ය ලෙස එම සටනේ මෙතෙක් නොකියැවුණු, නොඇසුණු සහ නොපෙනුණු තැන් අනාවරණය කරමින් වයඹ ටුඩේ තබන සටහනකි මේ.

කහටගහපතල පුද්ගලිකරණය කිරීමේ වෑයමක් පිළිබදව පතල් සේවකයින්ට ඉව වැටී තිබුණේ මීට මාස කිහිපයකට පෙරදීය. ඒ කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා සහ ලංකා ග‍්‍රැෆයිට් ලිමිටඞ් නැමැති පුද්ගලික සමාගමක් අතර අස්සන් කෙරුණු ගිවිසුමක පිටපතක් පතල් සේවකයින් අතට පත්වීම හේතුවෙනි. අදාළ ගිවිසුමට අනුව එම සමාගම විසින් වසර දෙකක කාලයක් තුළදී රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බවත්, ඒ සදහා කහටගහපතලෙන් සියයට හතලිස් නවයක ප‍්‍රමාණයක් එම සමාගම වෙත පැවැරීමටත්, පතල් පරිශ‍්‍රය තුළ ඉදිකෙරෙන නිෂ්පාදානාගාරයක් තුළ අගය එකතු කළ මිනිරන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට නියමිත බවත් සේවකයින් විසින් අනාවරණය කරගෙන තිබිණි. පතල ලබාගැනීමට යන සමාගමේ හිමිකාරිත්වය පිළිබදව මෙන්ම අදාළ ගිවිසුම අස්සන් කර තිබූ ක‍්‍රමවේදය පිළිබදවත් සේවකයින් තුළ සැක සංකා ගණනාවක් ඉපදී තිබිණි. මේ නිසාම පසුගිය අගෝස්තු 31 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගොකරැල්ල, පොල්ගොල්ල විද්‍යාරවින්ද පිරිවෙනට පැමිණි අවස්ථාවේදී පතල පුද්ගලීකරණය කිරීමේ සූදානමට විරෝධය පළකරමින් අත්සන් තැබුණු පෙත්සමක් සහිත ලිපි ගොනුවක් ජනාධිපතිවරයා අතට පත්කරන්නට එහි සේවකයින් විසින් වගබලාගෙන තිබිණි. එලෙස මාස කිහිපයක් තිස්සේ අඵ යට සැගවී තිබූ කහටහපතලේ සේවක ගිනි පුපුරු රතු පැහැ එළි දල්වමින් ඇවිලී යන්නේ පසුගිය 11 වැනිදාය. ඒ කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන කේ. පියරත්න මහත්මිය විසින් නිකුත් කරනු ලැබූ ලිපියක් හේතුවෙනි. ලේකම්වරියගේ ලිපියට අනුව ඔක්තෝම්බර් 10 වැනි දින රැස් වූ ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුව විසින් කහටගහ ගැෆ්‍රයිට් ලංකා සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත් වී ඇති බවත්, එහි සේවක වැටුප් ගෙවීමට රජය විසින් මාසිකව මුදල් ප‍්‍රතිපූර්ණය කළ යුතු තත්වයකට පත් වී ඇති බවත් තීරණය කළ බව සදහන් විය. එම නිසා කහටගහපතළ හෙවත් කහටගහ ග‍්‍රැෆයිට් ලංකා ආයතනය ප‍්‍රතිව්‍යුහගත කිරීම සදහා ආර්ථික කළමනාකරණ කමිටුව විසින් අනුමැතිය දුන් බවත් එහි වැඩිදුරටත් සදහන් වී තිබිණි. මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයෙන් ශත පහක හෝ මුදලක් ලබාගෙන නැති පසුබිමක් තුළ මෙන්ම වාර්ෂික ලාභාංශ ලෙස ආයතනයේ සියලු සේවකයින්ට පසුගිය වසරේදී රුපියල් පහළොස් දහසක බෝනස් මුදලක් පවා ගෙවා ඇති තත්වක් තුළ කහටගහපතල පාඩු ලබන ආයතනයක් ලෙස නම් කිරීම එහි සේවකයින් විසින් දැක්කේ පතල පුද්ගලිකරණය සදහා මූලික අඩිතාලම යෙදීමක් ලෙසටය. ඒ නිසාම ඊට එරෙහිව සටන්වැදීම ආරම්භ කළ කහටගහ සේවකයින් විසින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන්නේ පසුගිය 19 වැනිදාය. පතල පුද්ගලිකරණයට විරෝධය පළකරමින් සටන් පාඨ ලියූ බැනර් සහ පෝස්ටර් කහටගහ පතල් පරිශ‍්‍රයෙහි මෙන්ම අවට නගරවලත් ප‍්‍රදර්ශනය කරන්නට පතල් සේවකයින් වගබලාගෙන තිබිණි. දින දෙකක් තිස්සේ පවත්වාගෙන ගිය සංඛේත වැඩවර්ජනයට බලධාරින්ගෙන් ප‍්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පළකරමින් කහටගහපතල් සේවකයින් පසුගිය 21 වැනිදා රිදීගම නගරයට රොද බදින්නට වූහ. එදින රිදීගම නගරයට ඇදහැලූණු වර්ෂාව පවා නොතකමින් පතල් සේවකයින් විරෝධතා පාගමනින් නගරය වටා සංචාරය කළ අතර රිදීගම ඔරලෝසු කණුව අසලදී සටන්පාඨ කියමින් උද්ඝෝෂණයක්ද පැවැත්වූහ. ඉන්පසුව එළැඹියේ රාජ්‍ය ආයතන නිශ්ක‍්‍රීය තත්වයට පත්වන සති අන්තය බැවින් පතල් සේවකයින් එම දින දෙකෙහිදී කටයුතු කළේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් හමු වී තම ගැටඵව පිළිබදව ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙනි. ඒ අනුව සදුදා පැවැත්වෙන කුරුණෑගල දිස්ත‍්‍රික් කමිටු රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කර ගැටඵවට විසදුමක් ලබාදෙන්නට මැති ඇමැතිවරුන් කිහිපපොළක්ම පතල් සේවකයින් වෙත පොරොන්දු වී තිබිණි. 24 වැනි සදුදා පැවැති කුරුණෑගල දිස්ත‍්‍රික් කමිටු රැස්වීමේදී කහටගතපතලේ විරෝධතාවය පිළිබදව කෙටියෙන් සාකච්ඡාවට ගත් නමුත් ස්ථිර විසදුමකින් තොරවම එම සාකච්ඡාවද අවසන් විය. 25 වැනිදා වනවිට දින පහක් සම්පූර්ණ වී තිබූ සංඛේත වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යාමෙන් පළක් නොවන බවට තීරණය කළ පතල් සේවකයින් සිය ඉල්ලීම උදෙසා අවසන් තුරුම්පුවත් පාවිච්චි කරන්නට තීරණය කර තිබිණි. ඒ අනුව පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවකට බැසගත් පතල් කම්කරුවන් එහි රැදී සිටිමින් උපවාසයක් ආරම්භ කළේ එකා පිට එකා මියැදුනත් පුද්ගලීකරණය කිරීමේ යෝජනාව හකුලා නොගන්නේ නම් මිස ආපසු පොළව මතුපිටට නොඑන බවට ශපථ කරමිනි. පතල් කම්කරුවන්ට සහය පිණිස පතලේ පරිපාලන කාර්යාලයෙහි සේවයේ නියුතු නිලධාරිනියක් ඇතුලු නිලධාරින් කිහිපදෙනෙකුද පතළට බැස සිටීම විශේෂත්වයක් විය. පතලට බැස සිටි පතල් සේවකයින් අඩි සිය ගණනක් දිගට දිවෙන මිනිරන් දෝනාවන්වල තැන් තැන්වල කණ්ඩායම් වශයෙන් වාඩි වී උපවාසයේ යෙදී සිටියහ. කහටගහ ගැෆයිට් ලංකා සමාගමේ සභාපති අබ්දුල් මජීඞ් මහතාද එදින කහටගහ පතලට පැමිණ සිටි නමුත් හෙතෙම මාධ්‍යට සෘජුව අදහස් දක්වන්නට මැලි විය. නමුත් ලියුම්කරු සමග අදහස් දැක් වූ සභාපතිවරයා කීවේ පතල පුද්ගලීකරණය කිරීම සදහා තමන්ට , අමාත්‍යවරයාට හෝ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයටද අවශ්‍යතාවයක් නැති නමුත් යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඒ සදහා හොර පාරෙන් කටයුතු කරමින් සිටින බවකි. සේවක උපවාසයට පළමුවරට ප‍්‍රතිචාර දක්වමින් කහටගහ ග‍්‍රැෆයිට් ලංකා ආයතනය පුද්ගලිකරණය කිරීමක් නොකරන බව දන්වා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයෙන් ලිපියක් නිකුත්කර තිබුණේ පසුගිය 26 වැනිදා පස්වරුවේදීය. කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් අස්සන් තබා තිබූ අදාල ලිපියද රැගෙන රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එම්.එස්.එම්. නවාස් මහතා කහටගහ පතළ වෙත පැමිණ සිටියේය. නමුත් එම ලිපියෙහි පතල පුද්ගලිකරණය නොකරන බව සදහන් කිරීමට අමතරව ආයතනය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සහ අගය එකතු කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමක් පිළිබදවත් සදහන් වී තිබීම නිසා සේවකයින් අදාළ ලිපිය ප‍්‍රතික්ෂේප කළ අතර නැවත වතාවක් ලිපියක් සකස්කර එවන ලෙස අමාත්‍යංශයට දැනුම්දුන්හ. අමාත්‍යංශයේ දෙවැනි ලිපිය ෆැක්ස් මගින් පතලේ පරිපාලන කාර්යාලයට ලැබෙන විට රාත‍්‍රි අටට ආසන්න වී තිබිණි. එම ලිපියද පෙර ලිපියට වැඩිමනත් කරුණු එකතුකිරීමක් ලෙස නිකුත්කිරීම නිසා ඊට විරෝධය පළකල පතල් සේවකයින් ආයතනයේ සභාපතිවරයා සහ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිටදීම අදාළ ලිපි දෙක ඉරා දැමූහ. ඒ කලබලය අස්සේ උපවාසයේ යෙදී සිට සේවකයෙකු අසාධ්‍ය තත්වයට පත්වීම නිසා රිදීගම රෝහල කරා පිටත්කර යැවුණු අතර එතැනින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබිණි.
පතල් සටනේ වඩාත් උණුසුම් දිනය අරඹමින් පසුගිය 27 වැනිදාට හිරු උදා විය. එදින දහවල් දොළහ පමණ වනවිට උපවාසයේ යෙදී සිටියදී සිහිසුන් වූ දෙවැනි පතල් සේවකයාත් රෝහල වෙත යැවිණි. ගැටඵව පිළිබදව සොයාබැලීම සදහා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස මහතා කහටගහපතලට පැමිණෙන්නේ එදින පස්වරු 3 ට පමණය. පතලේ පරිපාලන කාර්යාලයේදී අමාත්‍යවරයා සමග සාකච්ඡාවට වාඩි වූ සේවක නියෝජිතයින් උද්ගත වී ඇති තත්වය පිළිබදව අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළහ. සාකච්ඡාවට කහටගහ ගැෆයිට් ලංකා සමාගමේ සභාපති අබ්දුල් මජීඩ්, රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එම්. එස්. එම්. නවාස් සහ දොඩම්ගස්ලන්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ආර්. ඩී. විමලදාස යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ. සාකච්ඡාවට වාඩි වී සිටි සේවකයින් ඉදිරිපිටදීම චම්පිකා පේ‍්‍රමදාස මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඇමැතූ නමුත් අගමැති ආරක්ෂක අංශයෙන් ඔහු වෙත දන්වා සිටියේ අගමැතිවරයා ඒ වනවිට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් සිටින බවය. පතලේ ක‍්‍රියාත්මකවෙමින් ඇති උපවාසය පිළිබදව අගමැති ආරක්ෂක නිලධාරින්ට දැනුම් දුන් අමාත්‍යවරයා උත්සවය අවසන් වූ විගස තමන්ට අගමැතිවරයා සම්බන්ධ කර දෙන ලෙසට ඔවුන් වෙත දැනුම් දුන්නේය. නැවත සාකච්ඡාව ආරම්භ වූ නමුත් සාකච්ඡාව වැඩිදුර පවත්වන්නට ඉඩක් නොලැබිණි. පහළ රැදී සිටි සේවකයින් කෑ කෝගසන්නට වූයේ මිහිතුළදී අසාධ්‍ය වූ තවත් සේවකයෙකු පොළව මතුපිටට රැගෙන බව කියමිනි. සාකච්ඡාවට වාඩි වී සිටි සේවකයින්ද ඇමැතිවරයා සාකච්ඡා කාමරයේ තනිකර දමා පතළ වෙත දිව ගියහ. විදුලි සෝපාන ලහි ලහියේ ක‍්‍රියාත්මක වෙද්දී පතළට අයත් වාහනයක් සෝපානයේ දොරටුව අසලට විදුලි වේගයෙන් ළගා විය. සේවකයින් සිව්දෙනෙකුගේ කරමතින් පැමිණි උපවාසකරුවා රිදීගම රෝහල කරා පිටත් කෙරිණි. සේවකයින් නැවත සාකච්ඡාට යන්නට සැරසුණු නමුත් පොළව තුළින් නැවත පැමිණි පණිවිඩයකින් කියැවුණේ තවත් සේවකයෙකු අසනීප වී ඇති බවය. පොළව මතුපිටට එවූ එම උපවාසකරුවාද කඩිනමින් රෝහලට යැවිණි. උපවාසයේ යෙදුණු තම සගයින් එකා පිට එකා ඇදවැටෙද්දී පතල් සේවකයින් නොසන්සුන් වූහ. ‘‘අපිව මේක ඇතුලේ මරාගන්නද යන්නේ ? ’’යැයි කියමින් ඔවුහු කෑ කෝ ගසන්නට වූ අතර සටන් සගයින්ගේ ඇදවැටීම් වාවාගත නොහැකි වූ ඇතැම් සේවකයින් නොදරුවන් මෙන් හඩා වැටෙන්නට වූහ. ඒ අතර අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස මහතා සොයාගෙන සාකච්ඡා කාමරයට ගිය පතල් සේවකයින් පිරිසක් ඇමැතිවරයා ඉදිරියේදී ආවේගශීලීව අදහස් දක්වන්නට වූහ. මේ අතර රිදීගම රෝහල වෙත යැවුණු උපවාසකරුවන් පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ පතළ තුළ ඔක්සිජන් මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටෙමින් ඇති බවකි. ඒ නිසාම කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ මැදිහත්වීමෙන් රිදීගම රෝහල වෙත අමතර ගිලන් රථ දෙකක් සහ ඔක්සිජන් සිලින්ඩර කිහිපයක්ද ළගා වූ අතර රෝහලද හදිසි අවස්ථාවක් වෙනුවෙන් සීරුවෙන් තැබිණි. මේ කලකෝලාහල මධ්‍යයේ ඇමැතිවරයා මගබලාගෙන සිටි අගමැතිගේ ඇමැතුම ආවේ රාත‍්‍රි 8 පමණය. පතලේ ක‍්‍රියාත්මකවෙමින් ඇති උපවාසය පිළිබදව සහ සේවකයින්ගේ ඉල්ලීම පිළිබදව ඇමැතිවරයා විසින් අගමැතිවරයා වෙත පැහැදිලි කළේය. විනාඩි පහකට වැඩි වේලාවක් ඇගමැතිවරයා සමග දුරකථන සංවාදයේ යෙදුණු පේ‍්‍රමදාස මහතා ඇමැතුම විසන්ධි කළේ ‘‘ඔන්න පුතා ඔයාලගේ ප‍්‍රශ්නේ විසදුණා එහෙනම්.’’ යැයි ජයග‍්‍රාහී විලාසයෙන් කියමිනි. සේවකයින් ඇමැතූ පේ‍්‍රමදාස මහතා කහටගහපතල පුද්ගලිකරණය කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව අග‍්‍රාමාත්‍යවරයා තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව පතල පුද්ගලිකරණය කිරීමක් සිදුනොකරන බවට තමන් සහතික වන බවද පතල් සේවකයින් වෙත පැවසීය. එමෙන්ම ඒ පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීම සදහා ලබන 08 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාවක් ලබාදීමටද අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස මහතා විසින් මෙහිදී සේවකයින් වෙත වැඩිදුරටත් පොරොන්දු විය. එබැවින් පතලෙන් නික්මයාමට පෙර මිහිතුළ උපවාසයේ යෙදී සිටින සේවකයින්ද හමුවීමට කැමැති බැවින් ඔවුන් ගොඩට ගෙන්වාගන්නා ලෙසට ඇමැතිවරයා පැවසීය. එලෙස අවසානයක් දකින්නට ගිය සාකච්ඡාව යළිත් උණුසුම් වූයේ ඇමැතිවරයා විසින් වාචිකව ලබාදුන් සහතිකය ලිඛිතව ලබාදෙන ලෙසට සේවකයින් විසින් කළ ඉල්ලීමක් හේතුවෙනි. සාකච්ඡාව පුරාම උපේක්ෂාවෙන් කටයුතු කළ ඇමැති චම්පික පේ‍්‍රමදාස මහතාගේ ඉවසීමේ සීමාව මෙතැනදී ඉක්මවා ගොස් ඇති බව පෙණිනි. ‘‘මොනවද පුතා, ඔයාලට රටේ අගමැතිතුමාවත් විශ්වාස නැද්ද ? අගමැතිතුමා කවදාවත් බොරු පොරොන්දු දෙන්නේ නැහැ. විශේෂයෙන් මට. මම දැන් පැය හතරක් තිස්සේ උත්සාහ කළේ මේ ප‍්‍රශ්නේ විසදන්න. නමුත් ඔයාලාට ඒක විසදගන්න උවමනාවක් නැත්තම් මමත් යනවා යන්න. මම මේ මාධ්‍යයත් ඉස්සරහා තියාගෙන බොරු පොරොන්දු දෙනවා කියලාද ඔයාලා කියන්නේ. ’’ ඒ වනවිටත් සාකච්ඡා වෙත එල්ල වී එහි සිදුවෙමින් පැවැති සියලු දෑ සටහන් වෙමින් පැවැති වයඹ ටුඩේ කැමරාව පෙන්වූ ඇමැතිවරයා සිය අසුනෙන් නැගිට සාකච්ඡා කාමරයෙන් පිටවී ගියේය. ඇමැතිවරයාගේ යෝජනාවට එකගවීම හැර වෙනත් මගක් නැති බව වටහාගත් පතල් සේවකයෝ කෑගල්ල බලා යාමට වාහනයට නැග සිටි අමාත්‍යවරයා නැවත වතාවක් බිමට බස්සවාගත්හ. අමාත්‍යවරයාගේ සහතිකය පිළිබදව පතළ තුළ උපවාසයේ යෙදී සිටි සේවකයින්ට දැනුම්දීමට කටයුතු කෙරුණේ ඉන් අනතුරුවය. ඒ අනුව අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිට පවත්වාගෙන යමින් තිබූ උපවාසය අත්හළ පතල් සේවකයින් විදුලි සෝපානවල ආධාරයෙන් රාත‍්‍රි 8.30 ට පමණ පොළව මතුපිටට පැමිණියහ. පොළව මතුපිටට පැමිණි උපවාසයේ යෙදුණු සේවකයින් ඇමතූ චම්පිකා පේ‍්‍රමදාස මහතා පතල පුද්ගලිකරණය කිරීමක් සිදුනොවන බවට ඔවුන් ඉදිරියේදීත් නැවත වතාවක් සහතික විය. කහටගහ පතලේ අරගලය සමථයකට පත් කළ ඇමැතිවරයා පතල් භූමියෙන් නික්ම යනවිට රාත‍්‍රි නවයට ආසන්න වී පැවැතිණි.

උපවාසය අතරතුරදී රෝහල්ගත කෙරුණු සේවකයින් සිව්දෙනාගෙන් එක් අයෙකු මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. උපවාසයේ යෙදුණු අනෙකුත් පතල් සේවකයින් වෙතද වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට මෙන්ම පසුගිය 28 වැනිදා පතල් කම්කරුවන්ට නිවාඩු ලබාදීමටත් පතල් පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබිණි. ආයතනය පුද්ගලිකරණය කිරීමට එරෙහිව කහටගහපතල් සේවකයින් විසින් දින අටක් තිස්සේ කළ අරගලයක වයඹ ටුඩේ ඇසින් දුටු සටහනද මෙලෙස අවසන් වෙයි.

දෝනාවක් තුළට වී උපවාසයේ යෙදී සිටි පතල් කම්කරුවන් පිරිසක්kahatagaha_oct_10_13
සිහිසුන් වූ පතල් කම්කරුවන් රෝහල්ගත කළ අයුරුkahatagaha_oct_10_10 kahatagaha_oct_10_11
අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවkahatagaha_oct_10_2
පතල් සේවකයින් අමාත්‍යවරයා හමුවේ ආවේගශීලි අයුරින් කරුණු දක්වමින්kahatagaha_oct_10_3
සහෝදර සේවකයින් රෝහල්ගත කිරීමේදී පතල් සේවකයින් හඩා වැටෙමින්kahatagaha_oct_10_4 kahatagaha_oct_10_5

උපවාසය අවසන් කළ පතල් කම්කරුවන් පොළව මතුපිටට පැමිණි අයුරුkahatagaha_oct_10_7 kahatagaha_oct_10_6
උපවාසයේ යෙදුණු පතල් කම්කරුවන් අමාත්‍යවරයා හමු වූ අයුරුkahatagaha_oct_10_9 kahatagaha_oct_10_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article