Saturday, September 21, 2024

කටුනේරියට, මල්ලවපොර වසන්තය කැන්දන් ආ ‘ වික්ටර්’

Must read


1980 , 1990 දශක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැක. ක්‍රිකට් ,බොලිබෝල් , මල්ලවපොර, පාපන්දු ,රගර් සහ ජවන හා පිටිය ඇතුළු සෑම ක්‍රීඩාවකින්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගෙන එමින් සුවිශේෂී දක්ෂතා පෙන්වූ යුගය ලෙස එම දශක දෙකක කාලය හඳුන්වලිය හැක.
මේ සටහනෙන් අප හඳුන්වා දීමට දෙන්නේ 1980 දශකය තුළ ශ්‍රී ලංකාව මල්ලවපොර හෙවත් රෙස්ලින් (wresling) ක්‍රීඩාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් මෙරටට අත්කර දෙමින් මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබු මල්ලව⁣පොර පුහුණුකරුවෙක් පිළිබඳවයි. ඔහු නමින් වික්ටර් වර්ණකුලසූරිය හෙවත් වික්ටර් මාස්ටර් ය.

රෙස්ලින් හෙවත් මල්ලවපොර ක්‍රීඩාව තුල ආර හෙවත් ස්ටයිල් කිහිපයක් ලොව පුරා ජනප්‍රිය වී ඇත. WWF ලෙස හඳුන්වන ඇමෙරිකන් ඕල් ස්ටයිල් රෙස්ලින් සහ ජපානයේ සූමෝ රෙස්ලින් ද මේ වන විට ලොව පුරා ඉතා ජනප්‍රිය මල්ලවපොර ආර ලෙස හැඳින්විය හැක. එහෙත් ලොව වඩාත් ගෞරවනීය සහ ඉහළම ක්‍රීඩා සැණකෙළිය ලෙස හඳුන්වන ඔලිම්පික් තරගාවලි වලදී තරග පවත්වන්නේ ප්‍රී ස්ටයිල් රෙස්ලින් හෙවත් නිදහස් ආර මල්ලව පොර සඳහාය . වික්ටර් මාස්ටර් ද මල්ලවපොර නිදහස් ආර ඉසව්වෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින් මල්ලවපොර ක්‍රීඩකයන් 100 ක් පමණ ශ්‍රී ලංකාවට දායාද කළ දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෙකි. කිසිදු ආර්ථික වාසියක් නොමැතිව තමා ජීවත්වන නිවස එළිමහනේ තාවකාලිකව සකස් කළ ස්ථානයක , කොහු මෙට්‍රස් යොදා ගනිමින් සහ කොහු බත් පිරවූ ගෝනි යොදා ගනිමින් ඔහු කටුනේරිය අවට මල්ලවපොර ක්‍රීඩාවට ලැදි තරුණයන් රැසකට ජාත්‍යන්තර තරග වලට පවා තරග කළ හැකි ලෙස මෙම ක්‍රීඩාව පුරුදු පුහුණු කළේය.
වික්ටර් මාස්ටර් කටුනේරිය ග්‍රාමයේ ඉපිද කටුනේරිය, සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරා 09 සහ 10 ශ්‍රේණි වල අධ්‍යාපනය ලැබීමට මාදම්පේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ද ඇතුළු විය. එම විද්‍යාලයේදී ඔහුට මුණගැසුණු විද්‍යාලයේ පාපන්දු පුහුණුකරු වූ ජූලියස් ප්‍රනාන්දු නම් ක්‍රීඩා ගුරුවරයාගේ මග පෙන්වීම අනුව ඔහු මල්ලවපොර ක්‍රීඩාවට පුරුදු පුහුණු විය. ඔහුගේ මල්ලවපොර පුහුණුකරු වු ජූලියස් ප්‍රනාන්දු ගුරුතුමාද කටුනේරියේම පදිංචි අයෙකි.ජුලියස් ප්‍රනාන්දු ගුරුතුමා පාපන්දු පුහුණුකරුවකු වුවද ඉන්දියාවේ කළ සංචාරයකදී එහි එක්තරා පාසලක මල්ලවපොර පුරුදු පුහුණු කරන ආකාරය දැක එම ක්‍රීඩාව පිළිබඳව ඇතිවූ උද්යෝගය නිසාවෙන්ම ඔහු මාදම්පේ ශාන්ත බෙන්ඩික් විද්‍යාලයේ දී මල්ලවපොර ක්‍රීඩාව එම පාසලේ එම ක්‍රීඩාවට ලැදි සිසුන්ට පුරුදු පුහුණු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඒ අනුව වික්ටර් මාස්ටර් ද එම විද්‍යාලයේ 09 සහ10 පන්තිවලදී මල්ලවපොර ක්‍රීඩාවට යොමුවිය. ඉන් පසුව අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් සමත්ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී උපාධිය ලබා ගත් ඔහුට රැකියාව පිණිස මහජන බැංකුව හා සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය. ඔහු මහජන බැංකුවේ ශාකා කළමනාකරුවරයෙකු බවටද පත්විය.
වික්ටර් මාස්ටර් සිය බිරිඳ සමග

        1975 වසරේ සිට වෙන්නප්පුව ප්‍රදේශයේ  ස්ථාපිතව තිබූ " යංග් බිල්ඩර්ස් "  මල්ලවපොර ක්‍රීඩා සමාජය  පිළිබඳව  ඇතිවී තිබූ ආකර්ෂණය නිසාවෙන්ම 1982 වර්ෂයේ වික්ටර් මාස්ටර් විසින් කටුනේරියේ මල්ලවපොර  ක්‍රීඩාවට ලැදී තරුණයන්ගෙන් සැදුම්ලත්  "කටුනේරිය රෙස්ලින්  ක්ලබ් " නමැති මල්ලවපොර ක්‍රීඩා සමාජය ආරම්භ කළේය. එම ක්‍රීඩා සමාජය ආරම්භ කරමින් කටුනේරිය අවට සිටි තරුණයන්ගේ සැඟවුණු ක්‍රීඩා කෞශල්‍යයන් සහ දක්‍ෂතාවයන් එළිදක්වන්නට වික්ටර් මාස්ටර් සමත් විය. මෙම ක්‍රීඩා සමාජය ආරම්භ කළ 1982 වසරේම නොවැම්බර් මාසයේදී සමස්ත ලංකා ජයග්‍රහණ මෙන්ම ජාතික ශූරතාවයද දිනා ගැනීමට මෙම ක්‍රීඩා සමාජය සමත් විය. 

                ඉන් පසුව 1985 වසරේදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජපාන ආරාධිත මල්ලවපොර තරගාවලියේදී එහි පැවති කණිෂ්ඨ , ජ්‍යෙෂ්ඨ  සහ විවෘත යන අංශ තුනේම සියලුම ශූරතා දිනා ගැනීමට මෙම ක්‍රීඩා සමාජයට හැකි විය.1987 වසරේදී  කටුනේරිය රෙස්ලින්  ක්ලබ්  ක්‍රීඩා සමාජය විසින් එම වසරේ ඉන්දියාවේ  කල්කටා හී දි පැවති  සාෆ් තරගාවලිය සඳහා කටුනේරිය ග්‍රාමයේ ඇන්ටනී සහ ලෝව් යන ක්‍රීඩකයන් දෙදෙනාව සහභාගි කරවීමටද අවස්ථාව උදාවේ. එමෙන්ම 1989 වසරේදී පාකිස්තානයේ , ඉස්ලාම්මාබාද් හී පැවති සාෆ් තරගාවලිය සඳහා කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය ඉසව්වට සහභාගි වූ කටුනේරිය රෙස්ලින් ක්ලබ් ක්‍රීඩා සමාජයේ ජූඩ් ප්‍රනාන්දු ක්‍රීඩකයා රිදී පදක්කම ජයග්‍රහණය කරමින්  ශ්‍රී ලංකාවට  කීර්තියක් අත්කර දීමට සමත් විය. මේ අනුව කටුනේරිය රෙස්ලින්  ක්ලබ්  ක්‍රීඩා සමාජය  තුලින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  මල්ලව පොර  ක්‍රීඩාව සඳහා ආසියානු තරගාවලි සහ ලෝක ශූරතා තරගාවලි වලටත් ක්‍රීඩකයන් ඉදිරිපත් කරන්නට මෙම ක්‍රීඩා සමාජයට හැකි විය. එහිදී වික්ටර් මාස්ටර්ගේ ක්‍රීඩා පුහුණුව පමණක් නොව නායකත්වය සහ නිර්මාණශීලී භාවය වඩ වඩාත් ඉස්මතු විය.  පෙර සඳහන් කළ ජූඩ් ප්‍රනාන්දු සහ ලයනල් නැමැති  කටුනේරිය ප්‍රදේශයේම දක්ෂ මල්ලවපොර  ක්‍රීඩකයකයාටද  ලෝක ශූරතා තරඟාවලින්  ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ මල්ලවපොර  තරගාවලි වලට සහභාගි වීමට අවස්ථාව උදාවිය. එමෙන්ම ජූඩ් ප්‍රනාන්දු විසින් "කවුඩි අසාන් ඊ අසාන් " නමැති  පාකිස්තානයේ පැවැති විවෘත මල්ලවපොර ශූරතා තරඟාවලියේදී  රිදී පදක්මක්ද දිනාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් අතර  ජුඩ් ප්‍රනාන්දු  හා සමාන දක්ෂතා වලින් අනූන වූ ලයනල් නමැති එම දක්ෂ මල්ලවපොර ක්‍රීඩකයා  මේ වන විට මිය ගොස් ඇත. එම ක්‍රීඩකයන්ගෙන් පසුවද කටුනේරිය රෙස්ලින්  ක්ලබ්  ක්‍රිඩා සමාජය තුලින්  ජාත්‍යන්තර මට්ටමට ගිය මල්ලවපොර  ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ශ්‍රී ලංකාව නියෝජනය කළේය. මේ වන විට එංගලන්තයේ පදිංචිව සිටින සංජය පෙරේරා ඉන් එක් අයෙකි. එමෙන්ම  කටුනේරිය  රෙස්ලින්  ක්ලබ්  ක්‍රීඩා සමාජය තුළින් බිහිවූ ලසන්ත නමැති ක්‍රීඩකයාද ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට ගෙන ආ කටුනේරිය ග්‍රාමයේ ක්‍රීඩකයෙකි. මේ සියලුම ජාත්‍යන්තර මට්ටමේ මල්ලවපොර ක්‍රීඩකයින් මෙරටට දායාද වූයේ වික්ටර් මාස්ටර්ගේ ක්‍රීඩා පුහුණුව සේම ඔහු සතුව තිබූ උනන්දුව ,කැපවීම සහ  දැඩි විනය ගරුක බව නිසාවෙනි.

         ශ්‍රී ලංකාවේ මල්ලව⁣පොර ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 1980 දශකය පිළිබඳව ආවර්ජනය කරමින් වික්ටර් මාස්ටර් සිය මතකය අප හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය.


එදා මෙදා තුර " කටුනේරිය රෙස්ලින් ක්ලබ් " ක්‍රීඩා සමාජයට ලැබුණු ශූරතා, කුසලාන, පදක්කම් සහ සහතික. ......

” ඒ කාලේ මගේ මේ නිවස ක්‍රීඩා පිට්ටනියක් වගේ.මේකේ මේ ගමේ ළමයින්ට , ඒ වගේම තරුණයන්ට වොලිබෝල් ,බාස්කට්බෝල් වගේ ඕනෑම ක්‍රීඩාවක් කරන්න මෙතන ඉඩ වෙන්කරලා දීලා තිබුණා. පාසල් ගිහිල්ලා මේ අපේ ගමේ අවට ළමයි 50 ක් 60 ක් විතර වගේ පිරිසක් මෙතනට හැමදාම වගේ එකවා. ඒ අයට අපි හැමදේම වගේ උගන්නනවා. ඉස්කෝලේ උගන්වන විෂය කරුණුත් මෙතන උපකාරක පන්ති විදිහට උගන්වනවා. මම ඇතත් නැතත් ඒ දේ හැමදාම මෙතන කෙරුණා. මෙතන ඉන්න ලොකු ළමයි පොඩි අයට ඉස්කෝලේ උගන්වන විෂය කරුණු වැඩිදුරටත් උගන්වනවා. ඊට පස්සේ මෙතන අපි විවිධ ක්‍රීඩා කරන්න අපිට පුළුවන් විදියට පහසුවෙන් හදලා දීලා තිබුණා. කොහොමත් සවස 5.30 න් පස්සේ තමයි අපි රෙස්ලින් පුරුදු පුහුණු කෙරුනේ. මුලින්ම අපි කරන්නේ කනිෂ්ඨ මට්ටමේ අයව.එයාලා පුරුදු පුහුණු කරලා , ගෙදර යවලා තමයි ඒක යන ටිකක් රෑ වෙන්ඩ ඇරලා තමයි සීනියස්ලා ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ අයට අපි රෙස්ලින් පුරුදු පුහුණු කරන්නේ. අපි මෙතනට කැඳව ගන්නේ රෙස්ලින් පුරුදු පුහුණුවෙන්න තියෙන කැමැත්ත අය විතරයි. අවශ්‍ය වෙන්නේ මේක ඉගෙන ගන්න තියෙන කැමැත්ත විතරයි.එහෙම එන අයව අපිට හදලා කරලා ගන්න පුළුවන්. අඟපත අවශ්‍යත් නෑ. ඒකත් අපිට හදල ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේකට යොමු වීම පමණයි. සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කරගන්න රෙස්ලින් කරන ක්‍රීඩකයෙකුට හදාගන්න ඕන අංග 06 ක් තියෙනවා. පළමුවැනි දේ තමයි ස්⁣ටෙන්ත් කියන දේ ඒ කියන්නේ ක්‍රීඩකයෙකුට තියෙන්න ඕන ශක්තිය. දෙවැනි කාරණාව තමයි ස්ටෙමිනා කියන්නේ. ඒ කියන්නේ ක්‍රීඩකයෙකුට මහන්සිය දරාගැනීමේ හැකියාව. ඊළඟට තියෙනවා ක්වික්නස් එක .ඒ කියන්නේ . ඊට පස්සෙ තියෙන්න ඕන සයන්ස් කියන දේ. ඒ කියන්නේ තාක්ෂණය. ප්ලෙක්සිබිලිටි ඒ කියන්නේ නම්‍යශීලි බව. තව තියෙන්න ඕනා ලිප්ටිනි කියන ශක්තිය ඒ කියන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාව ඔසවා ගන්න එක .නැතිනම් උස්සා ගැනීමේ හැකියාව. මෙන්න මේ කරුණු හය සාර්ථක රෙස්ලින් ක්‍රීඩකයෙකුට තියෙන්නම ඕනා., මේ ක්‍රීඩාව තුළ නියැලෙන්න.ඉතින් මෙන්න මේවා අපිට පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන්.අවශ්‍ය කැපවීමයි උනන්දුවයි ඉදිරිපත් වීම පමණයි. අද කාලේ කඨිනයට ප්‍රදේශය විතරක් නෙමේ මුළු ලංකාවෙම ගත්තත් මේ ක්‍රීඩාවට යොමු වෙන තරුණ පිරිස සෑහෙන දුරකට අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ළමයින්ට අද මේ වගේ ක්‍රීඩාවට යොමුවීමට වඩා විභාග මානසිකත්වයක් ආරෝපණය කරගෙන ඉන්නේ. දෙමව්පියෝත් විභාග සඳහා තමයි ළමයින්ව යොමු කරවන්න හැඩගස්වන්න බොහෝ විට කල්පනා කරන්නේ. ඒකෙන් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය මේ විදිහේ නැතිවෙලා ගිහින් තියෙනවා.
අනෙක තමයි අපේ රටේ වර්තමානයේ රෙස්ලින් ක්‍රීඩාව විතරක් නෙවෙයි, අනෙකුත් ක්‍රීඩාවන් පවා කඩා වැටෙන්න මූලික හේතුවක් වෙලා තියෙන්නේ මේ පෙඩරේෂන් වලට වගකිවයුතු මූලිකයෝ විදිහට පත්වෙන්නේ දේශපාලකයන් . බොහෝ විට ඒ අයට උවමනා නෑ ක්‍රීඩාව දියුණු කරන්නත්, ක්‍රීඩා නගා හිටුවන්ටත්.ඒ අයට බොහෝ වෙලාවට ඕන වෙන්නේ තමන්ගේ දේශපාලන සබඳතා තිබෙන අයව මේ පෙඩරේෂන්වල තනතුරු වලට දාලා, තමන්ගේ දේශපාලන කටයුතුවලට සහයක් කරගන්න. දැන් සමහර අවස්ථාවල විදේශ මුල පැවැත්වෙන තරඟ සඳහා යන ක්‍රීඩකයෙනුයි , පුහුණුකරුවොයි , කළමනාකරුවෙයි බොහෝ වෙලාවට ආපසු ලංකාවට නොපැමිණීමේ සිද්ධීන් අපි දැකලා තියෙනවා . ඒකෙන් දෙන්නව මේ අය ක්‍රීඩාව නගා සිටුවන්න නෙමෙයි මේ ක්‍රීඩාව සඳහා යොමුවෙලා තියෙන්නේ. තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු මුදුන්පත් කරගන්න කියලා. අනික තමයි සුදුස්සාට සුදුසු තැන ලබා නොදීම මේ රටේ ක්‍රීඩාව කඩා වැටෙන්නට තවත් මූලික හේතුවක් වෙලා තියෙනවා..ඉතින් අපි නමි මුදල් බලාගෙන වත් වෙන දේවල් බලාගෙනවත් නෙවෙයි මේ ක්‍රීඩාවට යොමු වුණේ. “:

  වර්ෂ 1983 සිට 1991 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මලිලවපොර සම්මේලනයේ නියෝජනය කළ වික්‍ටර් මාස්ටර් එහි උප සභාපති ධුරයද දැරිය. එලෙසම එම සමේලනයේ විනිසුරුකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද දැරිය. එහෙත් ශ්‍රී ලංකාවේ වෙනත් ක්‍රීඩා සංගම්වල  මෙන්ම මල්ලව පොර ක්‍රීඩා සම්මේලනයද මුල් පුටු වලට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් ගේ ආගමනය නිසා එම සම්මේලනය මගින් ක්‍රීඩාවට වඩා වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුවන අතපෙවීම් නිසා වික්‍ටර් මස්ටර්ට එම නිලතලවල රැඳී සිටීම ගැටලුකාරී විය. ඒ නිසාම ඔහු පසුකාලීනව මල්ලවපොර ක්‍රීඩා සමේලනයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වන්නට තීරණය කළේය. එනිසා මේ වන විට සෑම දේකින්ම විශ්‍රාමිකව පසුවන වික්ටර් මාස්ටර් තවමත් තරුණයන් කීප දෙනෙකු සඳහා ස්වේච්ඡාවෙන්ම කටුනේරිය රෙස්ලින් ක්ලබ් හරහා මල්ල පොර ක්‍රීඩාව පුරුදු පුහුණු  කඑමින් සිටි. කටු නිරය ප්‍රදේශයට විශාල ගෞරවයක් සහ කීර්තියක් ගෙන දුන් කටුනේරිය රෙස්ලින්  ක්ලබ්  ක්‍රීඩා සමාජයට හිටපු අමාත්‍ය දයා සිත තිසේරා මහතාගේ මඟ පෙන්වීම අනුව කටුනේරියේ මාතෘ සායන ගොඩනැගිල්ල අසල නව ක්‍රීඩාගාරයක්ද මේ වන විට ලැබී ඇත. වික්ටර් මාස්ටර් පවසන්නේ තමන්ට හොඳ කැපවීමෙන් යුතුව මේ ක්‍රීඩාවට නැඹුරු වන සහ මේ ක්‍රීඩාවට ලැදියාවක් දක්වන තරුණ පිරිසක් සිටීනම් ඔවුන්ව පුරුදු පුහුණු කර  පෙර මෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඒ නායකත්වය සහ අවශ්‍ය මඟ පෙන්වීම ලබා දිය හැකි බවයි. ඔහු අවසානයේ අප අප වෙතින්ද ඉල්ලා සිටියේ මේ පණිවිඩය පළකර කටුනේරියට අභිමානයක් ගෙන ඒමටත්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව කීර්තියක් අත්කර දීමටත් වැලලී යන මේ මල්ලවපොර  ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමටත් හොඳ ජවයෙන් පිරි තරුණ පිරිසක්  කටුනේරිය රෙස්ලින් ක්ලබ්  ක්‍රීඩා සමාජය සඳහා සම්බන්ධ කිරීමට දායක වන ලෙසයි.

තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article