Sunday, January 19, 2025

කකුල් දෙක දෙපැත්තේ – අහෝ චින්තක මායාදුන්නේ !

Must read

mayadunnealg_july_7_4
ජනපති හදිසියේ බලන්න ගිය ලෙඩා කවුද ?

පසුගිය බදාදා හිරියාල මැතිවරණ කොට්ඨාශයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහි පැවැති උත්සව සහ විවෘත කිරීම් කිහිපයකටම සහභාගි විය. මීගහඇළ විද්‍යාලීයිය ක‍්‍රීඩාංගණයේදී පැවැති මතින් නිදහස් රටක් සමුඵවටත්, කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කිරීමටත්, නෙල්ලිය පුරාණ විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමටත්, හෙට්ටිගෙදර පාලම විවෘත කිරීමටත් සහභාගි වූ ජනාධිපතිවරයා අන්තිමට පැමිණියේ පොල්ගොල්ල විද්‍යාරවින්ද පිරිවෙනේ වජ‍්‍ර ජයන්ති සැමැරුම් උත්සවයටය. ජනාධිපතිවරයා එදිනම පස්වරුවේ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේගේ ගුණ සමරු උත්සවයකට සහභාගිවීමට නියමිතව තිබූ බැවින් විද්‍යාරවින්ද පිරිවෙනේ උත්සවය අවසානයේ ජනපති මෛත‍්‍රී ගුවන් යානය වෙත රැගෙන යාමට ජනාධිපති ආරක්ෂක අංශය විසින් යුහුසුඵ වනු පෙනිණි. විද්‍යාරවින්ද පිරිවෙනෙන් එළියට පැමිණි ජනපති වාහනයට ගොඩවෙන අතරේ ආරක්ෂක නිලධාරීන්ට කීවේ ‘‘ටිකක් ඉස්සරහට ගිහින් එන්න යමු. ලෙඩෙක් බලන්න තියෙනවා. ’’කියාය. ලෙඩෙක් බැලීමක් පිළිබදව ජනාධිපතිවරයාගේ හිරියාල සංචාරයේ න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව නොතිබූ බැවින් හදිසියේ පැවරුණු එම රාජකාරිය සදහා ආරක්ෂක නිලධාරීන් කඩිමුඩියේ සූදානම් වෙද්දී අදාළ නිවස වෙත යාමට පාර කියුවේද ජනාධිපතිවරයා විසිනි. ජනපති කියූ මග ඔස්සේ ගිය ජනාධිපති නිල රථය නැවතුනේ ගොකරැල්ල ප‍්‍රදේශයේ නිවසක මිදුලේය. හදිසියේම තම ගෙමිදුලේ නැවතුනු මෝටර් රථයෙන් ජනපති මෛත‍්‍රී බිමට බසිනු දුටු නිවැසියන් උඩ බිම බලන්නට වූයේ ඔවුන් මෙම ගමන ගැන හාංකවිසියක් හෝ නොදැන සිටීම හේතුවෙනි. ජනපති මෛත‍්‍රී මෙලෙස හදිසියේ ගොඩවැදී තිබුණේ අතීතයේදී තමා සමග එක්ව සේවය කළ සහෝදර සමූපකාර සේවිකාවකගේ නිවසකටය. ජනපති මෛත‍්‍රී 1975 වසරේදී පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සැපයුම් නිලධාරියා වශයෙන් සේවය කරද්දී කුසුම් පෙතියගොඩ නැමැති මෙම කාන්තාව එම සමිතියේ මුදල් අයකැමිවරිය ලෙසින් සේවය කර තිබිණි. ඇය අසනීපයෙන් පසුවන බව ජනපති මෛත‍්‍රී වෙත සැල වී තිබීම නිසා ඇගේ නිවස ආසන්නයටම පැමිණි ගමනේදී විනාඩි කිහිපයකට හෝ ඇගේ නිවසටද ගොඩවී යන්නට මෛත‍්‍රී තීරණය කර තිබිණි. අසනීපයෙන් පසුවන කාන්තාව අසලින් වාඩි වූ ජනපති මෛත‍්‍රී ඇයගේ සුවදුක් විමසූ අතර ඇගේ ඥාතීහු ජනාධිපතිවරයා වෙත කාන්තාවගේ අසනීප තත්වයන් පිළිබදව විස්තර කළහ. විනාඩි කිහිපයක් එම නිවසේ ගතකළ මෛත‍්‍රී එම කාන්තාවට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් එම නිවසින් සමුගත්තේ යම් උදව්වක් අවශ්‍ය වුවහොත් තමන්ට ඒ බව දන්වන ලෙසට නිවැසියන් වෙත දැනුම්දෙමිනි. කාන්තාවගේ නිවසේ සිට කෙළින්ම ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාල ක‍්‍රීඩාංගණය වෙත පැමිණි ජනපති මෛත‍්‍රී ඒ වන විට එහි නවතා තිබූ ගුවන් යානයට නැගුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන හිටපු අමාත්‍ය ජෙයරාජ්ගේ ගුණ සමරු උත්සවය ආරම්භවන වේලාවද ඒ වන විට ආසන්න වෙමින් පැවැති බැවිනි.

මහින්ද පිලේ විරෝධයට ජනපතිගෙන් මෛත‍්‍රීගෙන් හැරෙන තැපෑලෙන් උත්තර !

පසුගිය සතියේ අඵ යට ගිනි පිටුවෙන් හෙළිකළ පරිදිම කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත්කිරීම මුලිකරගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ අනුදැනුම ඇතිව සංවිධානය කළ විරෝධතාවයක් පසුගිය බදාදා එම ස්ථානයේදී පැවැත්විණි. ජනපති මෛත‍්‍රී ඒ වන විට සිටියේ මීගහඇළ විද්‍යාල ක‍්‍රීඩාංගණයේ පැවැති මතින් නිදහස් රටක් සමුඵවට සහභාගිවෙමිනි. සමුඵවේ සිටියදීම කුරුණෑගල පැවැත්වෙමින් ඇති උද්ඝෝෂණය පිළිබදව ජනාධිපතිවරයා වෙත වාර්තා වී තිබිණි. එම නිසා සමුඵව අමතා කළ කතා අවසානයේදී රණවිරු ස්මාරකය අසල පැවැත්වෙමින් තිබූ උද්ඝෝෂණයට පිළිබදව ක්ෂණික ප‍්‍රතිචාරයක් දැක්වීමට මෛත‍්‍රී අමතක නොකළේය. ‘‘කුරුණෑගල – දඹුල්ල මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමේදි කුරුණෑගල නගරය ආසන්නයේ තිබෙන රණවිරු ස්මාරකයක් තාවකාලිකව ඉවත් කරන්නට සිදු වුණා. නමුත් ඒ ප‍්‍රදේශයේ ඉන්න මහ ජනතාව නොමග යවන එක්තරා පිරිසක් මේ පිළිබදව වැරැදි මතයක් ප‍්‍රදේශයට සහ රටට දීමට අද දිනයේ උද්ඝෝෂණයක් පවත්වන බව මට දැනගන්න ලැබුණා. මේ රණවිරු ස්මාරකය යුද හමුදාවෙන් ඉවත් කරන අවස්ථාවේදීම මම උපදෙස් දුන්නා යුද හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ටත්, ඒ වගේම වයඹ මහ ඇමැතිතුමා ඇතුලු පළාත් සභාවට වගේම මේ ප‍්‍රදේශයේ මැති ඇමැතිතුමාලට මේ පාරේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම තිබුණාට වඩා අලංකාර, ශක්තිමත් නව නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ හැකි පමණ ඉක්මනින් ඉදිකරන්න කියලා. බොහෝ වෙලාවට මත්ද්‍රව්‍යවලින් සමාජය නොමග යවනවා වගේම විවිධ අංශවලින් සමාජයට වැරදි තොරතුරු දීලා, වැරදි ප‍්‍රචාරයන් දීලා බොහෝ වැරැදි අවබෝධයන් දෙන පිරිස් ඉන්නවා.’’යැයි ජනපති කීය.

කැරැල්ල ඇරඹෙයි.

වයඹ පළාත් සභාව වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් විසින් ක‍්‍රියාත්මක කර ඇති සභා රැස්වීම් වර්ජනය හමුවේ කලකිරීමට පත් වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් එක්ව සභාපති ටිකිරි බණ්ඩාට එරෙහිව කැරැල්ලක් සදහා මුලපුරා ඇති බවට පසුගිය අගෝස්තු 11 වැනිදා පළවූ අඵ යට ගිනි පිටුව හරහා ඉගි කෙරිණි. එම මන්ත‍්‍රී කැරැල්ලේ පළමු වෙඩි මුරය නුදුරු දිනකදීම පළාත් සභා රැස්වීමකදී පත්තුවනු ඇති බවටද එහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි. අඵ යට ගිනි පිටුවෙන් කළ එම අනාවරණය සැබෑවක් බවට පත් කරමින් පෙරේදා පැවැති සභා රැස්වීමේදී සභාපති ටිකිරි බණ්ඩා විසින් අනුගමනය කරමික් සිටින මාධ්‍ය පීඩාකාරි මෙන්ම මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝණය කිරීමේ පිළිවෙතට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කළේ එජාප මන්ත‍්‍රී මොහාන් පෙරේරා විසිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී ප‍්‍රකාශයක් කළ මොහාන් පෙරේරා මාධ්‍යවේදීන් පසුගිය පෙබරවාරි මාසයේ සිට සභා රැස්වීම් වාර්තාකිරීමෙන් වැළැකී සිටීම නිසා සභාව තුළ සිදුවන තොරතුරු මහජනතාව වෙත නොලැබීමේ තත්වයක් උදා වී ඇති බව කීය. මෙම තත්වය තුළ නවක මන්ත‍්‍රීවරුන් ලෙස තමන්ට හිමි වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් උල්ලංඝණයවීමක් සිදු වී ඇති බැවින් අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන මාධ්‍යවේදීන්ට නැවත සභාවට පැමිණීමට අවස්ථාව ලබාදෙන්නැයි මොහාන් ටිකිරි බණ්ඩාගේ මූණටම කීය. කෙසේවෙතත් මොහාන් විසින් මාධ්‍යවේදීන්ට මෙන්ම මන්ත‍්‍රීවරුන්ටද යුක්තිය ඉටුකිරීම උදෙසා හුදෙකලා සටනක යෙදෙද්දී පක්ෂ විපක්ෂ සෙසු මන්ත‍්‍රීවරුන් එය නෑසුකන්ව සිටිනු දැකගත හැකි විය. ඒ වන විට සභා ගැබෙහි සිටි ඇතැම් මන්ත‍්‍රීවරුන් තමන්ගේ ජංගම දුරකථන ඔබමින් සිටි අතර තවත් මන්ත‍්‍රීවරයෙකු ඔහුගේ කට දෑතින්ම වසාගෙන සිටිනු පෙනුණේ එයින් වචනයක් හෝ එළියට පනිතැයි යන බියෙන් මෙනි. අමු අමුවේ කෙලෙසෙමින් ඇති මන්ත‍්‍රී වරප‍්‍රසාද වෙනුවෙන් හඩ නැගු මොහාන්ගේ සහයට කිසිවෙක් මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් ඉදිරිපත් නොවූ නමුත් සභාපති ටිකිරි බණ්ඩාට සහය දක්වමින් ආණ්ඩු පක්ෂය පැත්තෙන් හඩක් නැග ආවේ මේ වෙලාවේය. සාමාන්‍යයෙන් පුද්ගලික කරුණු දැක්වීමක් අවස්ථාවකදී සහෝදර මන්ත‍්‍රීවරයෙකුට බාධා නොකිරීමේ මන්ත‍්‍රී සම්ප‍්‍රදායක් ඇති නමුත් ඒ සියලූ සම්ප‍්‍රදායන් බිද දමා බල්ලගේ රාජකාරිය බූරුවා භාරගත්තාක් මෙන් ටිකිරි බණ්ඩාගේ සපෝට් එකට ඉදිරිපත් වී සිටියේ සභානායක චින්තක මායාදුන්නය. මොහාන්ගේ කතාවට තමන්ට සුපුරුදු අවිනීත ස්වරයෙන් දිගින් දිගටම බාධා කළ මායාදුන්නේ කෑ කෝ ගසන්නට වූයේ ටිකිරි බණ්ඩා විසින් පෙර සභාවකදී අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගත් බව කියමිනි. මොහාන් එදින සභාවේ සිටියේ නැති බව කියමින් මායාදුන්නේ දිගින් දිගටම කෑමොර දෙන්නට විය. මායාදුන්නේට පිළිතුරු දුන් මොහාන් කීවේ සභාපති ටිකිරි බණ්ඩාගේ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත් බවක් කිසිම හැන්සාඩ් එකක සදහන් වී නැති බවත් හැකි නම් එවැනි හැන්සාඩ් එකක් පෙන්වන ලෙසටය. මොහාන්ගේ ප‍්‍රකාශයෙන් නිරුත්තර වී ගිය මායාදුන්නේ එවර ‘‘එහෙනම් ඒක හැන්සාඩ් කට්ටියගේ වරදක් වෙන්න ඇති ’’යැයි කියමින් ලිස්සා ගියේය. මායාදුන්නේගේ අවිනීත බාධාකිරීම් පිළිබදව තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ මොහාන් සිය කතාව දිගටම කරගෙන ගියේය. මොහාන්ගේ ප‍්‍රකාශය අවසානයේදී ඊට පිළිතුරු බදිමින් ටිකිරි බණ්ඩා කීවේ මාධ්‍යවේදීන් යනු කාලකණ්නි පිරිසක් බවට කළ ප‍්‍රකාශය ඉවත්කරගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවය.

මන්ත‍්‍රී චින්තක වැනි බොඩිගාඞ්ලාගේ බාධාකිරීම් මැද්දේ වුවත් ටිකිරි බණ්ඩාගේ පීඩාකාරී පිළිවෙත ප‍්‍රශ්න කිරීම මන්ත‍්‍රී කැරැල්ලට මුලපුරන්නට පළාත් සභා රැස්වීම අවසන් වන විට මොහාන් සමත් වී තිබිණි. කප්පාදුවට ලක්ව ඇති මාධ්‍ය ප‍්‍රචාරක වරප‍්‍රසාදය නැවත දිනාගැනීම වෙනුවෙන් කැරැල්ල තවදුරටත් ඉදිරියට ගෙන යන්නේදැයි තීරණය කිරීම වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සතු කාරියකි. මක්නිසාද වයඹ පළාත් සභාව වාර්තා කිරිමෙන් වැළැකී සිටියා කියා මාධ්‍යවේදීන්ට අහිමිවන්නට කියා තඹ දොයිතුවක හෝ දෙයක් නැති හෙයිනි. මාධ්‍ය වර්ජනය හේතුවෙන් ප‍්‍රචාරණය ඇතුලු තවත් බොහෝ දෑ අහිමිවන්නේ මන්ත‍්‍රීවරුන්ටම වන බැවින් තවදුරටත් සුපුරුදු මුනිවතම හෝ ඊට එරෙහිව හඩ නැගීම යන දෙකෙන් එකක් වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් තෝරාගත යුතුව තිබේ. අනෙක් අතට තමන් කළ අපහාසාත්මක ප‍්‍රකාශය ඉවත්කරගැනීමට සූදානම් නැති බවට ටිකිරි බණ්ඩාගේ කටින්ම එළියට පැනීම මොහාන්ගේ කැරැල්ල හේතුවෙන් මාධ්‍යවේදීන් ලැබූ තවත් අතුරු ජයග‍්‍රහණයකි. මක්නිසාදයත් ටිකිරි බණ්ඩාට එරෙහිව ඉදිරි පියවර සැලසුම් කිරීමේදී මුලසුනේ සිට කෙරුණු එම ප‍්‍රකාශය මහත් පහසුවක් වන බැවිනි. පළාත් සභාවේ මෙම සිදුවීමෙන් පසුව ඉදිරියේදී ගතයුතු පියවර පිළිබදව එදින පස්වරුවේ මාධ්‍යවේදීන් එක්ව කළ සාකච්ඡාවකදී කියැවුණේ ටිකිරි බණ්ඩා වෙනුවෙන් කෑ ගසන්නට චින්තක මායාදුන්නේ ඉදිරිපත්වීම පුදුමයට කරුණක් නොවන බවය. මක්නිසාදයත් ගහට ගහක් මොරටුවේදී හමුවෙනවා කියන්නාක් මෙන් ටිකිරි බණ්ඩා සහ චින්තක දෙදෙනාම පුදුමාකාර සමානකම්වලින් යුක්ත වන බව එම සාකච්ඡාවේදී කියැවිණි. ටිකිරි බණ්ඩා සහ චින්තක යන දෙදෙනාම ඉන්නේ මෛත‍්‍රී පිල සහ මහින්ද පිල යන දෙපිලේම කකුල තබාගෙනය. එමෙන්ම දෙදෙනාම තනතුරුවලට පත්වූයේ පළපුරුද්ද හෝ වෙනත් විශේෂ සුදුසුකමක් නිසා නොව හදිසියේ ඇති වූ පුරප්පාඩුවලට අහම්බෙන් පත්වීමෙනි. මේ නිසා මාධ්‍යවේදීන් විසින් අවසානයේ තීන්දු කළේ එක වල්ලේ පොල් ලෙස සැලකිය හැකි අයවලුන් කියන කරන දෑ පිළිබදව එතරම් මායිම් නොකිරීමටය. කෙසේ නමුත් සාකච්ඡාව අවසන් වූයේ මාධ්‍යවේදීන් දොට්ට දැමූ දා සිට ටිකිරි බණ්ඩා ගැන ලිවීමට මාධ්‍යවේදීන් විසින් පාව්ච්චි කරමින් සිටින පෑනම මින් ඉදිරියට මන්ත‍්‍රී චින්තක මායාදුන්න ගැන ලිවීම සදහාත් පාව්චිචි කරන බවට පොදු එකගතාවයකට එමිනි. ඒ අනුව මෙම ලිපියේ ඉතිරිය ලියැවෙන්නේ එම පෑනෙනි.

මහින්ද එක්ක නැගිටින්න ගිය චින්තක ශ‍්‍රීලනිප සමුඵවට කුලියාපිටියෙන් සෙනග හොයයි.

පසුගිය ජූලි මාසයේදී මුලු ආණමඩුව පුරාවට පෝස්ටර්, බැනර්, කටවුට් ගසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෙන්වාගෙන කිවුල ශ‍්‍රී ලෝකානන්ද විහාරස්ථානයේදී ආශිර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරීම සදහා සභානායක චින්තක අමල් මායාදුන්නේ විසින් කළ පෙරළිය පිළිබදව එම සතියේ පළ වූ අඵ යට ගිනි පිටුවෙන් අනාවරණය කෙරිණි. චින්තක විසින් එම උත්සවයේ අනෙක් හවුල්කරුවා වූ හිටපු මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරගේ නම කථික ලැයිස්තුවෙන් කපා දැමීම නිසා අන්තිමේදී මහින්දගේ මැදිහත්වීමෙන් චින්තකගේ කථික ලැයිස්තුව කුණු බක්කිය විසි වී ආනන්දට කථාවක් ලැබුණු ආකාරයද එහිදී හෙළි කෙරිණි. එවැනි ගිනි විජ්ජුම්බර ගොඩක් පාමින් තමන් මහින්දවාදියෙකු බව ආණමඩුවේ ජනතාව වෙත ඒත්තු ගැන්වීමේ මහන්සියක යෙදුණු මන්ත‍්‍රී චින්තක මායාදුන්න පසුගිය සිකුරාදා කුලියාපිටියේදී තවත් එවැනිම විජ්ජුම්බරයක් පෑවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර පසුගිය සිකුරාදා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ කිහිපයක සංචාරය කළේය. ඒ ඉරිදා පැවැත්වීමට නියමිත ශ‍්‍රීලනිප සමුඵවට එම ආසනවලින් පාක්ෂිකයින් සහභාගි කරවීම පිළිබද අවසන් සාකච්ඡා වට පවත්වමිනි. පොල්ගහවෙලටත්, දොඩම්ගස්ලන්දටත් ගොස් එම ආසනවල සමුඵ සංවිධායකයින් හමු වූ ඇමැති අමරවීර අන්තිමට ගියේ කුලියාපිටියටය. කුලියාපිටිය ශ‍්‍රීලනිප සංවිධායක අතුල විජේසිංහගේ මීගහකොටුවේ පිහිටි කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවට පුත්තලමේ සිට පැමිණ සිටි තවත් සුවිශේෂි අයෙකු සහභාගි වී සිටියේය. ඒ පසුගිය කාලය පුරා මහින්ද සමග නැගිටීමට බොහෝ සේ වෙහෙස මහන්සි ගත් අප කථානායක චින්තක මායාදුන්න තෙමේය. චින්තක විසින් දැඩි උනන්දුවෙන් යුතුව ඉරිදා පැවැත්වෙන ශ‍්‍රීලනිප සමුඵවට පාක්ෂිකයින් සහභාගිකරවීමේ කටයුත්ත සදහා සිය දායකත්වය ලබාදුන් බවක් පෙනුණු අතර වෙනකක් තබා සාකච්ඡාව ආරම්භ කරමින් පාක්ෂිකයින් පිළිගැනීම් කතාව පවා පැවැත්වූයේ චින්තක විසිනි. සාකච්ඡාව අවසන්වීමෙන් පසුව චින්තක මායාදුන්නේ ඇමැති මහින්ද අමරවීර, අතුල විජේසිංහ සමග පිටත් වී ගියේ වැවගම, දියදොර ප‍්‍රදේශයේ නිවසක සූදානම් වී තිබූ රාත‍්‍රි භෝජනය වෙනුවෙනි. දේශපාලනයේ ආගිය තොරතුරු කතා කරමින් ඇමැති අමරවීර සහ අතුල ඇතුලු පිරිස සමග රාත‍්‍රි භෝජනය සප්පායම් වූ චින්තක කුලියාපිටියෙන් නික්ම යන විට මධ්‍යම රාත‍්‍රියද පසු වී තිබිණි. චින්තකගේ කුලියාපිටියේ ගමන ගැන ආරංචිවීමෙන් පසුව ආණමඩුව පැත්තෙන් දැන් දැන් හොද හොද කතන්දර අසන්නට ලැබෙමින් තිබේ. මන්ත‍්‍රී චින්තක කලෙක සිට උත්සාහ කරන්මින් ඉන්නේ තමන් ‘පොඩි දමු දසනායක’බව ආණමඩුවට පෙන්වීමටය. තමන්ගේ රූපයත්, පවුල් පසුබිමත් හරහා දසනායක චරිතයට පණපොවන්නට චින්තක බොහෝ සෙයින් උත්සාහ දරණ බව ප‍්‍රකට කරුණකි. කෙතරම් අඩුලුහුඩුකම්, දරදඩුකම් තිබූ නමුත් දමු දසනායක චරිතයට අදටත් ගරු කරන ආණමඩුවේ ජනතාව ඕනෑ තරම් සිටිති. මිය ගොස් වසර ගණනාවක් ගෙවී ඇති කලෙක පවා දමු දසනායක චරිතයට එවැනි පිළිගැනීමක් ලැබී ඇත්තේ එහා පැත්තේ එක කකුලකුත්, මෙහා පැත්තේ අනෙක් කකුලකුත් තියාගන්නා ගෙඹි දේශපාලනයක මෙන්ම මේ මාසයේ තව පිළකත්, අනෙක් මාසයේ තව පිළකත් ලැගීමේ දවල් මිගෙල් රෑ දනියෙල් දේශපාලනයක දමු දසනායක කෙදිනකවත් නොයෙදුණු බැවිනි. එබැවින් ආණමඩුවේ ජනතාව දැන් කියන්නේ දමු දසනායක මෙන් රැවුල කැපූ පමණින් හෝ දමු මෙන් රන් මුදු දෙකක් අතෙහි පැළද සිටි පමණින් කෙනෙකුට දමු දසනායක විය නොහැකි බවය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 සැප්තැම්බර් 08 වැනි බ‍්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article