Sunday, January 19, 2025

ඇතුගල පැලුණේ වයඹ සභාවේ කෙබරවලටද ?

Must read

alu_yata_gini_march_24
මෛත‍්‍රී පිලත් වැඩ පටන් ගනී.

කවුරුන් කොයි ආකාරයෙන් අර්ථ දක්වන නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පවතින්නේ නොනිල වශයෙන් දෙපිල බෙදී ඇති තත්වයකය. ඉන් එක් පිලක නායකත්වය හොබවමින් සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඇති සමීප සම්බන්ධය නිසාදෝ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මේ බෙදිල්ල වඩාත් කැපී පෙනෙන ලෙස දැකගත හැකි වෙයි. මහින්ද පිලට පක්ෂපාතී පිරිස් විසින් දැනට මාස කිහිපයකට පෙර සිටම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථානයන්හි සාකච්ඡා, රැස්වීම්, ජනහමු පමණක් නොව මාධ්‍ය සාකච්ඡා පවා පවත්වමින් වඩාත් සක‍්‍රිය දේශපාලනයක යෙදෙන බවක් පෙණුනු නමුත් මෛත‍්‍රී පිලට පක්ෂපාතී බව කියැවුණු පිරිස සිටියේ නිද්‍රාශීලි තත්වයකය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැඩි වාසිය මහින්ද පිල සතුව තිබීම නිසාදෝ යම් කටයුත්තක් සදහා ජනපති මෛත‍්‍රී දිස්ත‍්‍රික්කයට පැමිණි විටෙක එම අවස්ථාවට සහභාගි වනවා මිස මෛත‍්‍රීවාදී පිරිස් විසින් මහින්දවාදීන්ගේ ක‍්‍රියාකාරකම්වලට පෙරළා ප‍්‍රතිචාර දක්වන බවක් දැකගත නොහැකි විය. එලෙස පසුගිය මාස කිහිපය පුරාවට පැවැති මෛත‍්‍රී පිලෙහි නිහැඩියාව පසුගිය ඉරිදා දිනයේදී බිදවැටුණු බවක් පෙණිනි. ඊට මුල පුරා තිබුණේ ජනපති මෛත‍්‍රී අතින් වාරියපොළ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස පත්වීම් ලැබූ වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ජයලත් විසිනි. පසුගිය ඉරිදා ආනන්ද ජයලත් විසින් ඔහුගේ නිවසේ රැස්වීමක් කැදවා තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස නම් කරමිනි. ආනන්දගේ නිවසේ රැස්වීම වඩාත් සුවිශේෂි එකක් වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් මෛත‍්‍රී පිල නියෝජනය කරන පිරිස් එදින පළමුවරට කළ එළි බැසීම නිසාය. මහින්දවාදීන් ලෙසට මේ වන විට ලේබල් වී සිටින කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගෙන් බොහොමයක් පසුගිය කාලයේ පැවැති ජනහමු , රැස්වීම් සහ මාධ්‍ය සාකච්ඡාවන්වලදී තමන් මහින්ද සමග රැදෙන බව ප‍්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් වූ නමුත් මෛත‍්‍රී සමග රැදෙන බවට කිසිවෙකුත් ප‍්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවූ බැවින් ආනන්ද ජයලත්ගේ නිවසේ පැවැති මෙම රැස්වීම කුරුණෑගල මෛත‍්‍රී හිතවාදීන්ගේ කළ එළි මංගල්‍යය ලෙස හැදින්වුවද එහි ඇති වරදක් නැත. ආනන්ද ජයලත්ගේ ඇරයුම පිළිගත් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, වයඹ පළාත් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර සහ ගම්පහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිලක් බස්නායක රැස්වීමට පැමිණි සිටියහ. වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් මෙම රැස්වීමට පැමිණ සිටියේ වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක සහ මන්ත‍්‍රී නිලන්ත සුපුන් රාජපක්ෂ යන දෙපළ පමණි. එමෙන්ම පළාත් පාලන ආයතන ප‍්‍රධානින් නියෝජනය කරමින් පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එමල් ප‍්‍රියන්ත, කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැටි‍්‍රක් කරුණාසිංහ, මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් පෙරේරා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ව්‍යාපාරික සේන ඇඹලේගොඩද ඊට සහභාගි වී සිටියහ. නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මෙම අවස්ථාවට සහභාගි වී නොසිටි නමුත් මෙම හමුව සදහා ඔහුගේ ආශිර්වාදය සහ පූර්ණ සහයෝගයද ලැබෙන බවට රැස්වීමේ අවස්ථා කිහිපයකදීම කියැවිණි. ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ආරක්ෂාව සැලසෙන බවටත්, එය රටේ අනාගත තීන්දු තීරණවලදී වැදගත් සහ අත්‍යාවශය කාරණාවක් බවටත් මෙහිදී අදහස් දැක් වූ කථිකයින් විසින් අවධාරණය කළහ. එසේම බෙදී වෙන් වී ගියහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නැති බවට හෙක්ටර් කොබ්බෑකඩුව වැනි අතීත නායකයින්ද උදාහරණයන්ට ගනිමින් මෙහිදී පාක්ෂිකයන් වෙත පැහැදිලි කෙරිණි.

ආණ්ඩුවට සෙත් පතන්නයි, වස් වදින්නයි එක විට පොල් බිදෙයි.

යහපාලන රජයට දේවාශිර්වාද ප‍්‍රාර්ථනා කරමින් එක් පිරිසක් පොල් ගසද්දී එම රජයම භංගකරන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලමින් තවත් පිරිසක් එකම ස්ථානයකදී පොල්ගැසීමේ අපූරු සිදුවීමක් පසුගිය සෙනසුරාදා දැකගත හැකි වූයේ හලාවත, මුන්නේශ්වරම පුදබිමේදීය. වත්මන් රජයට දේවාශිර්වාද ප‍්‍රාර්ථනා කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ සේවක එකමුතුව විසින් සංවිධානය කර තිබූ දේව කන්නලව්වක් සහ පොල්ගැසීමක් එදින උදෑසන මුන්නේශ්වරම පුදබිමේ පිහිටි කාලි අම්මන් කෝවිලේදී පැවැත්වුණු අතර ඊට ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ශාන්ත අබේසේකර සහ අශෝක ප‍්‍රියන්ත ඇතුලූ පිරිසක් එක් වී සිටියහ. මෙම පිරිස හලාවත නගරයේ සිට කාලි කෝවිල දක්වා පාගමනින් පැමිණ දේව කන්නලව්වක් පවත්වා රජයට දේවාශිර්වාද ප‍්‍රාර්ථනා කිරීමෙන්පසුව රජයේ වැඩපිළිවෙලට බාධාකරන පිරිස්වලට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පොල් ගැසීමක නිරත වූහ. මෙම පොල් ගැහිල්ලේ ප‍්‍රධානත්වය දැරුවේ වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකර වන අතර සිය වගකීම අකුරටම ඉටුකරමින් යාතිකාවක ස්වරූපයෙන් සිය කන්නලව්ව දෙවියන් හමුවේ ඉදිරිපත් කළ ශාන්ත පළමු පොල්ගෙඩිය සුණු විසුණු වී යන ලෙස ගලෙහි ගැසුවේය.
එම දේව කන්නලව්ව අවසන්වනවාත් සමග මුන්නේශ්වරම පුදබිම තුළම පිහිටි ඊශ්වර මහ දේවාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලූ පිරිසක් ජනතාවට විනකරන වත්මන් ආණ්ඩුව පලවාහරින ලෙස ඉල්ලමින් තවත් දේව කන්නලව්වක් පවත්වා පොල් ගැසීමක නිරත වූහ. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, සනත් නිශාන්ත පෙරේරා සහ කුමාර වෙල්ගම ඇතුලූ පිරිසක් එක් වී සිටියහ. ආණ්ඩුවට වස් වද්දවන්නට සහ සෙත් පතන්නට පක්ෂ විපක්ෂ දෙපිරිස තරගයට පොල් බිදිද්දී ඉන් වඩාත්ම අසීරුවට පත් වී සිටියේ පොලිස් නිලධාරීන්ය. පොල් වලින් ගහගන්නට ආ පිරිස අතින් පයිනුත් ගහගනීයිදෝ යන සැකය මත එදින මුන්නේශ්වරම පුදබිම අවට පොලිස් මුරකාවල් දැඩි කර තිබූ අතර අතිරේක පොලිස් බල ඇණි පවා හලාවතට ගෙන්වනු ලැබ තිබිණි.

පිපිරුණු ඇතුගල දේශපාලනයටත් ගෑවෙයි.

ගෙවී ගිය සතියේ වයඹ පළාත තුළ වඩාත් ආන්දෝලනයට ලක් වූ මාතෘකාව වූයේ ඇතුගල පුපුරායාමයි. වයඹ පළාත් සභා සංකීර්ණයේ සිට මීටර් කිහිපයක දුරින් පිහිටි ඇතුගලෙහි පහළ ස්ථාන කිහිපයක් පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේදී හෙණ හඩ නංවමින් පුපුරා ගොස් තිබිණි. මතක ඇති කාලයක අසන්නට දකින්නට නොලැබුණු සිදුවීමක් වූ ඇතුගලෙහි මෙම හදිසි පුපුරායාම වයඹ පමණක් නොව සියලූ රටවැසියන්ව යම් කැළඹීමකට ලක් කළා යැයි කිවහොත් නිවැරදිය. ඇතුගල පැලීම පිළිබදව කණවැටුණු සෑම අයෙකුටම ක්ෂණිකව සිහිපත් වූයේ ජන සමාජයේ මුල්බැසගෙන ඇති ගල් පැලෙන බොරු සංකල්පයයි. ඒ සමගම අනෙක් පැත්තට ඇතුගල පාමුල පිහිටා ඇත්තේ වයඹ පළාත් සභා සංකීර්ණය බව සිහිවීමත් සමග ඒ හැමගේම මුවට නැගුණේ සිනාවකි. ‘‘පළාත් සභාවෙන් ඇහෙන කෙබරවලට ඇතුගල මෙච්චර කාලයක් නොපැලී තිබුණු එකයි පුදුමේ. ’’පිපිරීම බලන්නට ඇතුගලට ආ බොහෝ අය එලෙස කීහ. ‘‘පහුගිය කාලේ කෝටි ගාණක් කම්බස් කරගෙන පළාත් සභාවේ මන්ත‍්‍රීවරු රට සවාරි ගියා. දැන් ඊයේ පෙරේදා ඉදලා පළාත් සභාවේ ගේට්ටුව ගලවගෙන කාණුවක් හාරන්න ඔට්ටු වෙනවා. තවත් ගාණකට තට්ටු කරන්නේ නැතුව හදන කාණුවක් ගේට්ටුව හදන වෙලාවෙම හදන්න තිබුණේ නැද්ද ? පළාත් සභාවෙන් කරන මේ නාස්තියට ඇතාගල වුනත් ඉහලූම් දෙයිද ?’’තවත් අය කීහ. තවත් සමහරෙකුගේ අදහස වූයේ කුරුණෑගල දේශපාලනඥයින් විසින් පසුගිය සමයේදී ඇතුගල නමින් දිවුරා ජනතාවට දුන් බොරු පොරොන්දු හේතුවෙන් ඇතුගල පැලී ගිය බවකි. ‘‘කුරුණෑගල ඉන්න දේශපාලනඥයෝ කී දෙනෙක් නම් මේ ඇතුගල නමින් දිවුරලා තියෙනවාද මම අනික් පැත්තට නම් පනින්නේ නැහැයි කියලා. සමහරු කිව්වේ ඇතුගල වගේ නොසැලී ඉන්නවා කියලා. තව සමහරු කීවේ ඇතුගල හෙල්ලූනත් මම නම් හෙල්ලෙන්නේ නෑ කියලා. තමන් ඇතුගල වගේ කියලා කෑ ගහපු හැමෝම වැඩි දවසක් යන්න කලින් අනික් පැත්තට පැන්නා. මේවා බලාඉන්න බැරිම තැන ඇති ගල පැලිලා ගිහින් තියෙන්නේ. ’’යනුවෙන් පළ වූ අදහස්ද බොහෝය. ඇතුගල පුපුරායාම පිළිබදව සැළ වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පැවැති රැස්වීමකදී ඒ පිළිබදව ප‍්‍රතිචාර දක්වා තිබුණේ ඇතුගල පිපුරුවේ ‘‘ආණ්ඩුවේ ඌෂ්ණෙටද දන්නේ නෑ. ’’යැයි කියමිනි. ඇතුගල පුපුරායාම පිළිබදව පරීක්ෂණ පැවැත් වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා විසින් එම පිපිරීම මේ දිනවල පවතින උණුසුම් කාලගුණික තත්වය පදනම් කරගනිමින් ඇති වූ ස්වභාවික සංසිද්ධියක් බවටත්, එහි බිය විය යුතු තත්වයක් හෝ අවදානම් සහගත තත්වයක් නොමැති බවටත් මේ වන විට තහවුරු කර ඇති නමුත් ඇතුගලේ පැලීම පිළිබදව දේශපාලන පිටියේදී කියැවෙන කයි කතන්දරවලින් නම් ඉදිරි සතියේදීත් අඩුවත් නොවනු ඇත.

ඇමැති සාගල වැල්ලව ඕඅයිසීගේ පුටුවේ වාඩි වෙයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ ප‍්‍රධානත්වයෙන් වැල්ලව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී ඇතුලූ මැති ඇමැතිවරුන් මෙන්ම වයඹ සහ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, පොලිස් සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු ඇතුලූ පොලිස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ. නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව එම ගොඩනැ`ගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඇමැති සාගල ඇතුලූ පිරිස අන්තිමට පැමිණියේ එහි ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය වෙතය. ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඇමැති සාගල අතින් සමරු සටහනක් තබන්නට එහි කටයුතු සූදානම් වී තිබිණි. ඒ සදහා ස්ථානාධිපතිවරයාගේ රාජකාරි මේසය සහ අසුන සූදානම් කර තිබූ අතර පොලිස් ප‍්‍රධානින්ගේ ඇරයුම පරිදි සමරු සටහන තබන්නට සූදානම් වූ ඇමැති සාගල වටපිට බලන්නට විය. තමාට සමරු සටහන් තැබීම සදහා සූදානම් කර ඇත්තේ වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි අසුන බව දුටු ඇමැති සාගල ඉංග‍්‍රිසි බසින් ඒ අසල සිටි පොලිස්පතිවරයා ඇමැතීය. ‘‘මම මේකේ ඉදගත්තට කමක් නැද්ද ? ’’ඇමැති සාගල පොලිස්පතිවරයාගෙන් ඇසීය. ‘‘ඒකට කමක් නෑ, වාඩිවෙන්න.’’පොලිස්පතිවරයා කීය. පොලිස්පතිවරයාගෙන් ලැබුණු අවසරයත් සමග ඇමැති සාගල වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි අසුනෙහි ඉදගත්තේ ‘‘වෙනදාට නම් අපි මේ පුටුවල ඉදගන්නේ නෑනේ ’’යැයි සිනාමුසු මුහුණින් කියමිනි. උත්සවයට එන්නට මදක් පමා වූ වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී එහි ආවේ ඇමැති සාගල සමරු සටහන තබමින් සිටියදීය. ආණ්ඩුකාරවරියට අසුන් ගැනීම සදහා එහි සිටි පොලිස් නිලධාරීන් විසින් අමාත්‍යවරයා ඉදිරිපිට තිබූ අසුනක් ලබා දුන් නමුත් ‘‘නෑ. නෑ. මම මෙහෙම ඉන්නම්. ටික වෙලාවයිනේ ’’යැයි කී ආණ්ඩුකාරවරිය එහි අසුන්ගැනීම ප‍්‍රතික්ෂේප කළාය. නමුත් ඇමැති සාගලගේ සමරු සටහන තරමක දීර්ඝ එකක් වූ බැවින් ඒ සදහා තවත් ටික වේලාවක් ගත වී ගිය අතර දෙවැනි වරටත් පොලිස් නිලධාරින්ගෙන් ලැබුණු ඉල්ලීම පිළිගත් ආණ්ඩුකාරවරිය ඇමැති සාගල ඉදිරිපිට අසුනේ වාඩිවූවාය. ඉන් පසුව පෙනෙන්නට වූයේ ආණ්ඩුකාර අමරා පියසීලි විසින් කරන පැමිණිල්ලක් ඇමැති සාගල විසින් පොතක සටහන් කරගන්නාක් වැනි ස්වභාවයකි. තමන්ගේ සමරු සටහනට දිගු වේලාවක් ගත වූ බව දැනී ඇමැති සාගල තමා වටා සිටි පිරිසට කතාකළේය. ‘‘මමත් පැමිණිල්ලක් වගේ ලියනවා වගේ පේනවාද ? ’’යැයි කී සාගල සිය අත්සන තබා සමරු සටහන අවසන් කළේය. කෙසේවෙතත් ඇමැති සාගලගේ සමරු සටහන සදහා විනාඩි දහයකට ආසන්න කාලයක් ගත වූ අතර සී ආර් වර්ගයේ පොතක පිටුවක් පුරා එම සමරු සටහන ලියැ වී තිබිණි.

පොල්පිතිගම වප් මගුලේ ආරාධිතයින්ට ලබු කට්ටෙන් ‘කොතළ හිඹුටු’!

ඉකුත් සතියක ජවිපෙ විසින් කමත් සභාවක් සදහා යොදාගත් මා එළිය කුඹුරු යාය වප් මගුලක් සදහා සූදානම් කෙරෙමින් පවතින බව පසුගිය සතියේ ‘අඵ යට ගිනි’පිටුවෙන් අනාවරණය කෙරිණි. එම අනාවරණය සැබෑ කරවමින් අදාල වප් මගුල පසුගිය ඉරිදා මා එළිය කුඹුරු යායේදී පැවැත්විණි. සිකුරාදා දිනයේ පවත්වන්නට නියමිතව තිබූ මෙම වප්මගුල ඉරිදා දිනට යොදාගෙන තිබුණේ ප‍්‍රදේශයේ පැවැති අවමගුලක් හේතුවෙනි. පොල්පිතිගම විවිධ සේවා සමූපකාරය විසින් සංවිධානය කර තිබූ මෙම වප් මගුලේදී පක්ෂ විපක්ෂ වශයෙන් පිල් බෙදී සිටින මැති ඇමැතිවරුන් එකපෙළට කුඹුරට බැස සී සෑමේ දුර්ලභ දසුනක්ද දැකගත හැකි විය. පළාත් සභාව නියෝජනය කරමින් මහ ඇමැති ධර්මසිරි දසනායක, කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරා ඇතුලූ මැති ඇමැති පිරිසකට ආරාධනා කර තිබූ නමුත් ඒ කිසිවෙකුත් වප් මගුලේදී දැකගත නොහැකි විය. පළාත් සභාවේ ජාම බේරාගන්නට එහි පැමිණ සිටියේ මන්ත‍්‍රී නිමල් කරුණාතිලක පමණි. අනෙක් ආරාධිතයින් සියලූදෙනාම නියමිත වෙලාවට පැමිණ සිටි නමුත් ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා සිටි නමුත් ඇමැති ටී. බී. එන්නට පමා වීම නිසා වප්මගුලේ ආරම්භයද පමා විය. හිරු මුදුන් වී අව් රශ්මිය දැඩි වෙද්දී, උදෑසනින් වියට බැද සිටි ගවයින් නොසන්සුන් වෙද්දී, වැඩම කර සිටි සංඝයා වහන්සේගේ දන් වේලාවද ළගාවෙමින් තිබියදී ඇමැති ටී. බී. ගේ පමාවෙන් සී සෑම සදහා සකස් කර තිබූ නැකැත්ද පසු වී ගියේය. පැයකට වැඩි පමාවකින් පසු වප් ම`ගුලට පැමිණි ඇමැති ටී. බී. ‘‘මම එනකම් මොකටද බලාගෙන හිටියේ. වැඬේ පටන්ගන්න එපා යැයි ’’ කියද්දී වප් මගුලේ සංවිධායකයින් මුහුණට මුහුණ බලාගනු පෙණනි. පමා වී තිබූ නමුත් වප් මගුල සැලසුම් කර තිබූ අයුරින් ආරම්භ කරන්නට එහි සංවිධායකයින් වගබලා ගත්හ. ඒ අනුව බෙර ගසා, කොඩි උස්සා, පැල සිටුවීම සදහා තවත් වේලාවක් ගත වූ අතර වප් මගුලේ ප‍්‍රධාන අංගය වන සී සෑමේ අවස්ථාව තවත් ටිකක් පමා වී ගියේය. ඒ හේතුවෙන්ම පැවිදි අනුශාසනාව පැවැත් වූ පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් විසින් වප් මගුල පමාවීම පිළිබදව ඇමැති ටී. බී. ඉදිරිපිටදීම නොසතුටින් යුතුව වදාරන්නට වගබලාගත්තෝය. සරම් සහ බැනියම්වලින් සැරසී හිසට තලප්පාවන් බැද ගොවීන් බවට පත් වී සිටි ටී. බී. සහ නාමල් ඇතුලූ ආරාධිතයින් පිරිස පෙරහැරින් සී සෑම සදහා සූදානම් කර තිබූ කුඹුර වෙත කැ`දවාගෙන යාම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. පෙරහැරේ එන අතරේ වී මිල පිළිබදව කතාවකට වැටුණු ටී. බී. නාමල්ට කීවේ ‘‘වී දෙන්න බෑනේ මල්ලි .’’ කියාය. ‘‘දෙන්න බෑ කියන්නේ ඇයි? ’’ නාමල් පෙරළා ටී. බී. ගෙන් ඇසීය. ‘‘ වී ගණන් නෑනේ. දහ අටයිනේ හැම තැනම. ’’ ටී. බී. කීය. ඊට උත්තර දෙන්නට නොගිය නාමල් හ්ම් කියා කරබාගත්තේය. පෙරහැරින් පැමිණි ආරාධිතයන් පිරිස කුඹුරට බැස සී සෑම ආරම්භ කළහ. හීයේ මහ ගොවියා ලෙස පෙළෙහි ඉදිරියන්ම සිටියේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැති ටී. බී. ඒකනායකය. ඇමැති ටී. බී. ට සී සෑම සදහා රන් ආලේපිත නගුලක් සැපයීමටද වප් මගුලේ සංවිධායක මණ්ඩලය වගබලාගෙන තිබිණි. හීයේ දෙවැනියට සිටියේ ජවිපෙ නියෝජනය කරන නාමල් කරුණාරත්නය. තෙවැනුව මහින්ද පිළ හෙවක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී නිමල් කරුණාතිලක සිටගෙන සිටියේය. හීයේ සිව්වැනි හරක් බාන සමග වෙලට බැස සිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පොල්පිතිගම හිටපු විපක්ෂ නායක ටී. බී. ජයසුන්දරය. පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සී සෑම සදහා එකපෙළට සූදානම් වී සිටි නමුත් එදින උදෑසන කාලයේ වියට අමුණා සිටි ගවයින් ඒ වනවිට කුලප්පු වී සිටි බවක් දක්නට ලැබිණි. ටී. බී. ගේ , නාමල්ගේ සහ ජයසුන්දරගේ හරක් බාන් ආම්බාන් කරගත හැකි තත්වයක සිටි නමුත් මන්ත‍්‍රී නිමල් කරුණාතිලක එතරම් වාසනාවන්ත නොවීය. මන්ත‍්‍රී නිමල් නගුල අතට ගන්නවාත් සමග කුලප්පු වූ හරක් බාන ගාලකඩාගත් සේ කුඹුරු දිගේ දිවයන්නට වූහ. අසරණ නිමල් මන්ත‍්‍රීවරයාටද සිදු වූයේ සී සෑම පැත්තක නගුලත් ඔසවාගෙන මී හරක් හරක් බාන පස්සේ දිවීමටය. එවන් වූ අලංකලංචි ගොඩක් මැද්දේ සී සෑම අවසන් කර නියරට ගොඩ වූ ආරාධිතයින්ගේ වෙහෙස නිවනු පිණිස තවත් සංග‍්‍රහයක් පොල්පිතිගම සමූපකාරය විසින් සූදානම් කර තිබෙනු පෙණිනි. ‘කොතල හිඹුටු’බව කියමින් ලබු කට්ටක තැන්පත් කර තිබූ මෙම ප‍්‍රනීත සංග‍්‍රහය පොල් කටුවලට දමා ආරාධිතයින් අතරේ බෙදාහරිනුද පෙණිනි. මන්ත‍්‍රී නාමල් කරුණාරත්න අතටද ‘කොතල හිඹුටු’පිර වූ පොල් කට්ටක් ලැබුණු අතර එය නාසයට කර බැලූ නාමල් එය ආපසු දුන්නා පමණක් නොව එතැනින් මග හැර යනුද පෙණිනි. කුඹුරේ එහා කොණේ දෙවියන් උදෙසා උඩැක්කි වැයෙද්දී, ස්ත්‍රෝත‍්‍ර කියැවෙද්දී මෙහා කොණට වී පොල්කටුවල දමාගත් ‘කොතල හිඹුටු’ සප්පායම් වූ ආරාධිතයින් පිරිසගේ අතට ඉන් අනතුරුව බුලත් විටද පිළිගන්වනු පෙණිනි. බුලත්, පුවක් , හුණු , දුම්කොළ බුලත්විට එකවර කටේ දමාගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදය වුවත් ආරාධිතයින් විසින් තමන් අතට පත් වූ මේ බුලත් විටෙහි ඔතා තිබූ යමක් ටිකෙන් ටික අනුභව කරනු දුටු පොල්පිතිගම ජනතාවගේ හිසෙහි මැවුණේ බුලත් විටක් කන පිරිසකට වඩා ‘කටගැස්මක් ’ හපන පිරිසකගේ රූපයකි. ‘කොතල හිඹුටු’ සංග‍්‍රහයෙන් පසුව උත්සව සභාව ආරම්භ විය. පෙරහැරේ එන අතරතුරේදී ටී. බී. ගේ කටින් පැන්න වී මිල අඩුවීමේ කතාවට නාමල් පිළිතුරු දුන්නේ ඔහුට සභාව ඇමැතීමට ලැබුණු අවස්ථාවේදීය. ‘‘ ටී. බී. ඒකනායක ඇමැතිතුමා දැන් මාත් එක්ක කිව්වා වී මිල අඩුයි කියලා. ඔව් වී මිල බැහැලා තමයි. ඒ නිසා තමයි අපි වී වලට සහතික මිලක් ඉල්ලලා ගොවියෝ එක්ක පාරට බැහැලා අරගල කරන්නේ. හොද ගොවියෙක් විදිහට ඔබතුමාටත් වී මිල අඩුයි කියලා දැනෙනවා නම් අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන්න, කතා කරන්න, ඒ වෙනුවෙන් හඩක් නගන්න කියලයි.’’ නාමල් කීය. නාමල්ගෙන් පසුව කතාව ලැබුණේ ඇමැති ටී. බී.ට ය. ටී. බී. ගේ කතාවේදී නාමල් කියූ කතාවට පිළිතුරක් ලැබෙතැයි බොහෝ දෙනෙකු සිතූ නමුත් දේශීය වී ගොවිතැනේ ඇති අගය ගැන කතාකරමින් සිටියා විනා ටී. බී. නාමල්ට උත්තර බදින්නට ගියේ නැත. උත්සවයෙන් පසුව ටී. බී. ඇතුලූ පිරිස දිය නෑම සදහා හක්වටුනා ඔය ජලාශය වෙත පිටත් වූ අතර ‘‘මම ගෙදර ගිහින් නාගන්නම්’යැයි කී නාමල් එම ගමනට එක්වීම ප‍්‍රතික්ෂේප කළේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article