පැමිණිල්ලක් විභාග කිරීම සදහා අද උදෑසන කුරුණෑගල ඇත්කද විහාරයේදී රැස් වූ සමථ මූල මණ්ඩලය හමුවට කැදවා සිටි අයෙකු විසින් අදාළ පැමිණිල්ලේ පැමිණිලිකරුට පිහියකින් ඇණීම නිසා පිහි ඇණුම් කෑ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඇත්කද විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් තුළ සිදු වී ඇති මෙම පිහි ඇණුමින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල, විල්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පිහි ඇණුම සිදුකළ පුද්ගලයා සහ පිහි ඇණුම් කෑ පුද්ගලයා අසල්වාසීන් බව පොලිසිය කියයි.
පිහි ඇණුම සිදු වූ ස්ථානය සම්බන්ධ අධිකරණමය කටයුතු මේවන විට සිදුකෙරෙමින් පවතින අතර අදාළ කටයුතු අවසන්වීමෙන් පසුව මෙම සිදුවීම පිළිබද සවිස්තර වාර්තාවක් අප වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.