Saturday, November 23, 2024

ආනන්දගේ පුරප්පාඩුවට, රණවිරු හේරත් පළාත් සභාවට.

Must read

ranaviru_herath_2

 ( කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක විසිනි. )

ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ධූරය සදහා හිටපු මන්ත්‍රී එච්.එම්. ඩී.බී. හේරත් මහතා (රණවිරු හේරත් ) පත්වීමට නියමිතය.

2013 වයඹ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ මීළගට නම සදහන්ව ඇත්තේ හේරත් මහතාගේය. 2013 වයඹ පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 14454 ක් ලබාගනිමින් සන්ධාන ලැයිස්තුවේ 27 වැනි ස්ථානය දිනාගැනීමටහේරත් මහතාට හැකි වූ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් වයඹ පළාත් සභාව තුළ හිමිවූයේ මන්ත්‍රී ආසන 24 ක් පමණක්වීම හේතුවෙන් පළාත් සභාවට තේරීපත්වීමට හේරත් මහතාට නොහැකි විය. පළාත් සභාව අතරමැදදී දයාසිරි ජයසේකර සහ ආර්. ඩී. විමලදාස යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීමත් සමග සන්ධාන මනාප ලැයිස්තුවේ 25 සහ 26 වැනි ස්ථානයව් දිනාගෙන සිටි නිමල් කරුණාතිලක සහ ආනන්ද චන්ද්‍රලාල් යන මහත්වරුන්ට පළාත් සභාවට පිවිසීමේ වරම් උදාවිය. එලෙස තේරී පත් වූ චන්ද්‍රලාල් මහතාගේ හදිසි අභාවයත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ලැයිස්තුවේ මීළග ස්ථානය දිනාගෙන සිටින එච්.එම්. ඩී.බී. හේරත් මහතාට හිමිවීමට නියමිතය.

විශ්‍රාමික යුද හමුදා සාමාජිකයෙකු වන හේරත් මහතා 2009 වයඹ පළාත් සභා මැතිවරණයට මුල්වරට තරග කරමින් දේශපාලනයට පිවිසි අතර, එහිදී මනාප ඡන්ද 43896 ක් වැනි විශාල මනාප සංඛ්‍යාවක් දිනාගනිමින් සන්ධාන ලැයිස්තුවේ 9 වැනියා ලෙස පළාත් සභාවට තේරීපත් වීමට ඔහුට හැකිවිය. එවකට පළාත් සභාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වූ ගුණදාස දෙහිගම, ඩී.බී. හේරත්, ධර්මසිරි දසනායක, ටිකිරි බණ්ඩා අධිකාරි, ලක්ෂ්මන් වේඩරුව ඇතුලු ප්‍රබලයින් ගනණාවක් අභිබවා මනාප ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට නවකයෙකු වූ හේරත් මහතා එම මැතිවරණයේදී සමත්විය. 2009 මැතිවරණයේදී එවැනි උසස් ජයක් ලැබූ නමුත් 2013 මැතිවරණයේදී ඔහුට ලැබුණු මනාප ඡන්ද සංඛ්‍යාව අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩුවීම හේතුවෙන් ලැයිස්තුවේ 27 වැනි ස්ථානය දක්වා පසුබැසීමට හේරත් මහතාට සිදුවීම ද විශේෂත්වයක් විය.

හිරියාල මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන හේරත් මහතා ඉබ්බාගමුව, පාන්ගොල්ල, රණවිරුගම ගම්මානයේ පදිංචිකරුවෙකි. හෙතෙම මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව දේශපාලන කටයුතුවලට යෙදී සිටී.

පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස වයඹ පළාත් සභාවට තේරීපත්වන නමුත් හේරත් මහතාට එම ධූරයෙහි කටයුතු කිරීමට ඉඩලැබෙන්නේ සිව්මසක් වැනි කෙටි කාලයක් පමණි. ඒ, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතව ඇති බැවිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article