දොඩම්ගස්ලන්ද , අලවතුමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් කළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පාසලක 4 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දරුවාගේ පියා විදේශ ගත වී සිටින අතර ඔහු සිය මවගේ රැකවරණයේ යටතේ පසු වී ඇති බව පොලිසිය කියයි. දරුවාගේ නිවසට ආසන්න නිවසක වෙසෙන සැකකාර තරුණයා දරුවාගේ නිවසට නිතර ආ ගිය අසල්වැසියෙකු බවද පොලිසිය කියයි.
මව නිවසේ නොසිටි පසුගිය දිනෙක දරුවාගේ නිවසට පැමිණි ඇති සැකකාර තරුණයා තමා අළුතින් ගෙනා මාළු ටැංකියක් පෙන්වන බව පවසමින් දරුවා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත්, එහි කාමරයක් තුළ රදවාගෙන දරුවාට ලිංගික අතවරයක් කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අතවරයට පත් දරුවා විසින් ඒ පිළිබදව සිය මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් ගොකරැල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුණෑගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් ගොකරැල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ඒ. එම්. සී. අතපත්තු මෙනෙවිය සහ කාන්තා පොලිස් සැරයන් අබේරත්න (0727) , පොලිස් කොස්තාපල් දහනක (33485) සහ කාන්තා පොලිස් කොස්තාපල් රේණුකා (5849) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.