Sunday, January 19, 2025

අලුත් ජෝඩුවෙන් මහින්දගේ පා ගමනට වෙඩින් කේක් !

Must read

alg_july_7_4alu_yata_gini_aug_5

දයාසිරිගෙන් ධර්මසිරිට සරම් පාඩමක්.

කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල වැවරවුමේ පිහිටි වයඹ පළාත් සභා නිවාඩු නිකේතනය හෙවත් මහගෙදරදී මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. එදින උදෑසන කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අවසන් කළ මැති ඇමැතිවරුන් එකා දෙන්නා දහවල් දොළහ පසුවන විට මහගෙදර බලා ඇදෙන්නට වූහ. මුලින්ම මහගෙදරට පා තැබුවේ ඇමැති ටී. බී. ඒකනායකය. ඒ වන විට එනවිට මහගෙදරට කිසිවෙකුත් පැමිණ නොසිටීම නිසා එහි ඉදිරිපස වැරැන්ඩා කොටසේ තිබූ පුටුවක් බලා වාඩි වූ ටී. බී. බුලත්විටකුත් සපමින් අනෙක් අය එනතුරු මග බලන්නට විය. ටික වේලාවක් ගතවෙද්දී ඇමැති අනුර යාපා, දයාසිරි ජයසේකර, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායක ඇතුලු මැති ඇමැතිවරුන්ද මහගෙදරට සේන්දු වූ අතර ඇමැති ටී. බී. අසුන්ගෙන සිටි තැනම තිබූ හිස් අසුන් බලා එම පිරිසද එතැනම අසුන් ගත්හ. තවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු පැමිණීමට නියමිතව තිබූ බැවින් ඔවුන් එනතෙක් මහගෙදර රැස්ව සිටි පිරිස සුහද සාකච්ඡාවකට වැටුණු අතර සාකච්ඡාව නොදැනීම කතා මඩුවක් බවට පත් වුණේ නිතැතිනි. වාරියපොළ ශ‍්‍රීලනිප සංවිධායක ආනන්ද ජයලත් ඇමැති නාවින්න පිළිබදව නඩුවක් ගෙනාවේ සාකච්ඡාව මැද හරියේදීය. ‘‘ නාවින්න ඇමැතිතුමාගෙන් මට හරි කරදරයි. මට ආසනයේ කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. මට මාර කැපිල්ලක් දානවා. එයා හැම ආසන සංවිධායකලාටම සල්ලි බෙද බෙදා යනවා වැඩ කරන්න කියලා. මට විතරක් ශත පහක් දෙන්නේ නැහැ. මේ ළගකදී පන්සලක උත්සවයකට ගිහිල්ලා හාමුදුරුවෝ මට කතාවකට ආරාධනා කරපුවාම මේ මනුස්සයා එකපාරටම කඩා පැනලා හාමුදුරුවන්ගෙන් මයික් එකත් උදුරා ගත්තා. ’’ආනන්ද ජයලත් කීය. ‘‘ඒක හරි වැරදියිනේ. එයා දැනගන්න එපා යැයි එයාගේ අන්තිම කාලේ හරි මිනිස්සු එක්ක රණ්ඩු නොකර ඉන්න.’’ ඇමැති දයාසිරි ආනන්ද අස්වසමින් කීය. ‘‘ඔන්න අන්ඩර් ස්කට් එක එළියට පැනලා. ’’දයාසිරි එක්වරම පිරිස සිනාගස්වමින් කීවේ මහ ඇමැති ධර්මසිරි සැරසී සිටි ජාතික ඇදුමේ සරමේ එළියට පැන තිබූ පොටක් පෙන්වමිනි. ‘‘ මොනවද අනේ. අදින්නකෝ නිකම් මේ අපි වගේ. පේනවනේ අපි ඇදලා තියෙන විදිහ. ඔන්න බලාගන්න ඇවිදිනකොට හැඩ කොහොමද කියලා ’’යැයි කී දයාසිරි හිද සිටි අසුනෙන් නැගිට ධර්මසිරිට තම සිරුරේ හැඩය පෙන්වන අදහසින් එහාට මෙහාට ඇවිදින්නට විය. නමුත් කුරුණෑගල වැව දෙසින් ආ හිරු එළිය දයාසිරි සැරසී සිටි දුහුල් ජාතික ඇදුම විනිවිද යාම නිසා එතැන මැවුණේ දයාසිරි පෙන්වන්නට බලාපොරොත්තු අවස්ථාව නොව වෙනත් රූපයකි. ‘‘මම යටට ඇදලා ඉන්න එකේ පාටත් එක්ක කියන්න කලින් මෙන්න මෙහාට ඇවිත් ඉදගන්නවද ? ’’යැයි අනුර යාපා කියද්දී පිරිස නැවත වරක් සිනා සයුරේ ගිලී ගිය අතර ඒ ඇසිල්ලේ දයාසිරි දනි පනි ගා තම අසුනට පැනගත්තේය. එතෙක් වේලා පමාවෙමින් සිටි පළාත් ඇමැති ලක්ෂ්මන් වේඩරුව මහගෙදරට පා තැබීමත් සමග මාධ්‍ය සාකච්ඡුාව ආරම්භ විය. මාධ්‍ය සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට එරෙහිව බව කියැවුනත් එහිදී අදහස් දැක් වූ මැති ඇමැතිවරුන් කීවේ පා ගමනක් ගැන නොව කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප සංවිධානය පිහිටුවීම සහ ශක්තිමත් කිරීමක් පිළිබදවය.

ඇමැති ටී. බී. ගේ අතින් විවෘත වෙන මහින්දගේ බෝඩ්.

කලක් මහින්ද පිළේ මුල් පුරුකක්ව සිටි ටී. බී. ඒකනායක පසුව ජනපති මෛත‍්‍රීගේ ආණ්ඩුවට එක් වී ඉඩම් රාජ්‍ය ඇමැතිකමට කර ගැසූ නමුත් මහින්දපිළ සමග යා වී සිටි පෙකිණිවැළ සම්පූර්ණයෙන් කපාදමා නැති බවට උදාහරණ ගණනාවක් පසුගිය මාස කිහිපය පුරාම වාර්තා විය. හිටපු ජනපති මහින්ද සමග යාපහුව හෝටලයකදී ඇමැති ටී. බී. පැවැත් වූ සතර කන් මන්ත‍්‍රණයක් ගැන මෙන්ම මහව ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිළ නියෝජනය කරන හිටපු මන්ත‍්‍රී පිරිසකගේ ලැයිස්තුවලට මෛත‍්‍රී ආණ්ඩුවේ සිමෙන්ති මිටි බෙදාදීමට ඇමැති ටී. බී. ක‍්‍රියාකළ ආකාරයත් පසුගිය සතිවල වයඹ අළු යට ගිනි පිටු ඔස්සේ හෙළිකෙරිණි. ඇමැති ටී. බී. ගතින් ආණ්ඩුවේ ඉන්නා මුත් සිතින් තවමත් පසුවන්නේ මහින්ද පිළේ බව කියැවෙන තවත් කදිම උදාහරණයක් පසුගිය සතියේදීත් දැකගත හැකි විය. පසුගිය සෙනසුරාදා ඇමැති ටී. බී. අඹන්පොල, අඹකොළවැවට ආවේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයක් වෙනුවෙනි. සුපුරුදු ලෙසම එම විවෘත කිරීම සදහා මහින්ද පිළ නියෝජනය කරන රෝහණ මැදගෙදර, විජිත අමුණුගම ඇතුඵ හිටපු මන්ත‍්‍රී පිරිසක් සහභාගිකරවාගැනීමට ටී. බී. විසින් වගබලාගෙන තිබිණි. කෙසේවෙතත් රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් මධ්‍යයේ ඇමැති ටී. බී. අතින් ජල ව්‍යාපෘතියේ නාම පුවරුව නිරාවරණය කෙරුණු අතර එලෙස විවෘත වූ පුවරුවෙන් එළියට පැන තිබුණේ හිටපු ජනාධිපති මහින්දගේ, හිටපු ඇමැති බැසිල්ගේ සහ ඇමැති ටී. බී. ගේ සිනාසෙන මුහුණුය. මහින්ද බලයේ සිටි ආරම්භ කළ ව්‍යාපෘතියක් වූ එම ව්‍යපෘතිය මෛත‍්‍රීගේ ආණ්ඩුව යටතේ වැඩ අවසන් කර තිබූ නමුත් විවෘත කිරීමේ පුවරුවේ මහින්ද සහ බැසිල්ගේ ඡායාරූප ඇතුළත් කළ ඊට කළගුණ සළකන්නට ඇමැති ටී. බී. විසින් ක‍්‍රියාකර තිබූ බවක් පෙනෙන්නට තිබිණි. මෛත‍්‍රීගේ ආණ්ඩුවේ ඇමැතිකමක් දරමින් සිටියදීම ඇමැති ටී. බී. අතින් විවෘත වූ මහින්දගේ පුවරුව අඹකොළවැව ගම්වාසීන්ට සති ගණනක් තිස්සේ සාකච්ඡා කරන්නට මාතෘකාවන්ද සපයා දී තිබිණි.

දෙහිගම සටන දිනයි. පෝස්ටරෙන් රනිල් ගලවයි.

ලංගම සහ පුද්ගලික බස් රථ සදහා ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වයඹ පළාත් නිල උත්සවය සදහා සකස් කළ කටවුට් සහ පෝස්ටර්වල අගමැති රනිල්ගේ ඡායාරූපයක් ඇතුලත් වී තිබීම පිළිබදව පළාත් ඇමැති ගුණදාස දෙහිගම විසින් යකා නැටූ ආකාරය ජූලි 21 වැනිදා වයඹ අළු යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. අගමැති රනිල්ගේ පින්තූරය මුල්කරගනිමින් ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වයඹ පළාත් නිල උත්සවය එලෙස ගිනියම් වෙද්දී පසුගිය බදදා කුරුණෑගල බස් නැවතුම්පොළේදී තවත් උත්සවයක් සංවිධානය වී තිබුණේ ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීම ආරම්භකිරීම නිමිත්තෙනි. කලින් උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකෙරුණේ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ මූලිකත්වයෙන් වුවත් එහිදී විදින්නට සිදු වූ අමිහිරි අත්දැකීම් හේතුවෙන්දෝ දෙවැනි උත්සවය ඇමැති දෙහිගම යටතේ ඇති ප‍්‍රවාහන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සංවිධානය වී තිබූ බවක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව උත්සවයේ සියලු කටයුතු සූදානම් වී තිබුණේ ඇමැති ඇමැති දෙහිගමගේ සහ අමාත්‍යංශයේ අනුපානයන්ට ගැලපෙන පරිදිය. උත්සවයේ වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ ඒ සදහා මුද්‍රණය කර තිබූ පෝස්ටර් සහ බැනරයන්ය. ඇමැති දෙහිගම විසින් දැක් වූ රනිල් විරෝධය මල්ඵල ගන්වමින් එම බැනරයන් සහ පෝස්ටර්වලින් අගමැති රනිල්ගේ ඡායාරූපය හැලී ගොස් තිබිණි. අගමැති රනිල්ට පමණක් නොව ඇමැති දෙහිගමගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ප‍්‍රවාහන ඇමැතිවරයාද නිමල් සිරිපාලගේ ඡායාරූපයටත් එම ආනිශංසයම අත්කර දෙමින් නිමල්ගේ ඡායාරූපයද බැනරයෙන් හැලී ගොස් තිබිණි. අගමැති රනිල්ගේ සහ ඇමැති නිමල් සිරිපාලගේ ඡායාරූපය බැනරයෙන් හැලී යද්දී එම බැනරයට මුහුණ දමා ගන්නට පෙර බැනරයේ නොසිටි අයෙකු වෙත අවස්ථාව ලැබී තිබිණි. ඒ වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකටය. ඒ අනුව වයඹ ප‍්‍රවාහන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සකස්කර තිබූ බැනරයට ඇතුළත්ව තිබුණේ ජනපති මෛත‍්‍රීගේ, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ, මහ ඇමැති ධර්මසිරිගේ සහ ඇමැති දෙහිගමගේ ඡායාරූප පමණි. උත්සවය සදහා වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති දේශාන් සම්පත් වර්ණපුරද පැමිණ සිටිනු පෙනුණු නමුත් සම්පත් වැඩි සද්ද බද්ද නොකර පැත්තකට කර තිබූ බවක්ද පෙනෙන්නට තිබිණි. අශෝක්, ධර්මසිරි සහ දෙහිගම එක්ව ලංගම බස් රථයක දොරෙහි ගැටගසා තිබූ කොළ පැහැති පීත්ත පටියක් කපා ඒකාබද්ධ කාලසටහන අනුව බස් ධාවනය කරවීම සංඛේතාත්මකව ආරම්භ කළහ. එමෙන්ම මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ එය ආවරණය කිරීම සදහා කිසිදු මාධ්‍යවේදියෙකුට ආරාධනා ලැබී නොතිබීමය. ඇතැම් විට පෙර උත්සවයේ තිරය පිටුපස සිදුවීම් සියල්ලම වයඹ අළු යට ගිනි පිටුවෙන් හෙළිකිරීම නිසාදෝ බදාදා පැවැති උත්සවයට මාධ්‍යවේදින් කිසිවෙකුටත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පැත්තෙන් හෝ වයඹ ප‍්‍රවාහන අමාත්‍යංශය පැත්තෙන් ආරාධනා ලැබී තිබුණේ නැත.

මහින්දගේ පා ගමනට ගිය නොගිය වයඹ අය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාද යාත‍්‍රාව සහභාගිවන්නට ගොස් තිබීම නිසා වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුගිය සතිඅන්තයේ ඔවුන්ගේ නිවෙස්වල නොසිටියහ. අසංක නවරත්න, සමන්ප‍්‍රිය හේරත්, ඩී. බී. හේරත්, බණ්ඩාර රාජපක්ෂ, සුමිත් රාජපක්ෂ, ආනන්ද චන්ද්‍රලාල්, නිමල් කරුණාතිලක, කුමාර කීර්ති චන්ද්‍රසිරි, මංජුලා දිසානායක, චින්තක මායාදුන්න , මල්රාජ් පීරිස්, පාලිත රෝහණ, ‍ට්‍රෙවින් ප‍්‍රනාන්දු, මෙන්ම පසුගිය සමයේදී මෛත‍්‍රී පිලේ සාමාජිකයෙකුව සිටි බව කියන සෝමසිරි ගුණතිලක සහ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාද පා ගමනට එක් වී සිටියහ. ටිකිරි බණ්ඩාගේ විශේෂත්වය වූයේ මහින්දගේ පා ගමනට සහභාගි වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් අතරින් ඊට සහභාගි වූ එකම තනතුරුලාභියා ඔහු වීමය. මෛත‍්‍රී එළවා දමා මහින්ද රජ කරන්නැයි කියමින් ටිකිරි බණ්ඩා පාගමන් ගියේ සෙසු පළාත් සභා මන්ත‍්‍රීවරුන් මෙන් හිස් දෑතින් නොව මෛත‍්‍රීගේ පිහිටෙන්ම ලබාගත් වයඹ පළාත් සභාවේ සභාපති පට්ටම සහ ජනපති මෛත‍්‍රීම සභාපතිත්වය දරණ පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක පට්ටමද දෝතින් දරාගෙනය.එබැවින් ඩාලි පාර පැත්තෙන් දැන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ මහින්ද සමග කෙසේවෙතත් සදාකාලිකවම පාරට වැටෙන තැනට ටිකිරි බණ්ඩාගේ අනාගතය මෙ වනවිට පක්ෂ මූලස්ථානයේදී ලියැවී අවසන් බවය. ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ, ඇමැති සුමල් තිසේරාද මෙන්ම පළාත් සභා මන්ත‍්‍රී කමල් හේරත්ද මහින්දවාදීන් ලෙසට ලේබල් වී සිටින නමුත් ඔවුන් තිදෙනාද මහින්දගේ පා ගමනට වූ බවත් වාර්තා නොවීය.

පා ගමනට ටිකිරි බණ්ඩාගෙන් මාලු බනිස්.

පා ගමනින් ඇසුණු රස කතා කිහිපයක් කෙටියෙන් හෝ සටහන් කර තැබීමට ලියුම්කරු අදහස් කරයි. වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයද මෙම පාගමනට එක්ව සිටියේය. ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ දම් පැහැයෙන් සහ පක්ෂයේ සළකුණු වලින් සැරසුම් කළ බස් රථයක් පා ගමනේ ඉදිරියෙන් ගමන් කරවන්නට අසංක ඇතුලු පිරිස වගබලාගෙන තිබිණි. ‘‘ඔන්න ඔබතුමාලා අපිට හැමදාම ත‍්‍රිවිලර් පක්ෂ කියලනේ කියන්නේ. ඒ නිසා අපි කාටත් පේන්න මේ පාර බස් එකක්ම ඉස්සරහින් දැම්මා.’’පා ගමන අතරතුරදී හිටපු ජනපති මහින්ද හමු වූ අවස්ථාවක අසංක කීවේ මහින්දගේ මුහුණට සිනාවක්ද නංවමිනි. පා ගමනේ යෙදුණු අයගේ සා පිපාසාව නිවීම වෙනුවෙන් වෙනුවෙන් සංග‍්‍රහයන්ද ගණනාවක්ද තැනින් තැන සුදානම් වී තිබිණි. වයඹ සභාපති ටිකිරි බණ්ඩා විසින් වේවැල්දෙණිය ආසන්නයේදී මහින්දගේ පා ගමනේ යෙදී සිටි අයට මාලු බනිස් දෙදහසක් බෙදා දුන්නේය. පා ගමන අතරතුරදී ලැබුණු කේක් සහ තැඹිලි සංග‍්‍රහයක් පා ගමන්කරුවන් විසින් භුක්ති වින්දේ ‘‘වෙඩින් කේක්, වෙඩින් කේක් ’’කියමිනි. මක්නිසාද යත් එම සංග‍්‍රහය සූදානම් කර තිබුණේ පසුගියදා විවාහ දිවියට පත් වූ මන්ත‍්‍රීනි සමන්මලී සකලසූරිය සහ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගේ පුත් යදාමිණී ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් වූ බැවිනි. මන්ත‍්‍රී සනත් නිශාන්තගේ මෙහෙයවීමෙන් පා ගමන් කරුවන්ගේ පිපාසය නිවනු පිණිස වතුර බෝතල් පැට වූ ලොරියක්ද පා ගමනට එක්කර තිබිණි. මහජන පක්ෂයේ කෑගල්ල සහ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් විසින් පාගමන පිළිගත්තේ තම බල ප‍්‍රදේශයන් වෙත පැමිණි පාගමන පිළිගත්තේ එහි පැමිණි අයට කොමඩු, අයිස් පැකට් සහ ජල බෝතල් බෙදාදීමට කටයුතු කරමිනි.

අශෝක් අබේසිංහ ජොන්ස්ටන්ගේ තැබෑරුමේ.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන කුරුණෑගලදී ක‍්‍රියාත්මක කෙරුණේ පසුගිය සෙනසුරාදාය. ඇමැති අකිලගේ ප‍්‍රවර්ධන වැඩසටහනට කුලියාපිටියටත්, මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ ප‍්‍රවර්ධන වැඩසටහනට මාවතගමටත් ආ අගමැති රනිල් නියෝජ්‍ය ඇමැති අශෝක්ගේ කුරුණෑගල වැඩසටහනටත් සහභාගි වන බවටතැන තැන කියැවුණු නමුත් සෙනසුරාදා වන විට ඒ කතා සියල්ල බොරු වී ගියේය. රනිල්ගේ අඩුව පුරවන්නට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එන බව කියැවුණු නමුත් ෆොන්සේකාද සෙනසුරාදා දිනයේදී නම් කුරුණෑගල නාවේය. අන්තිමට අශෝක්ට පිහිටට පැමිණ සිටියේ පාර්ලිමේන්තුව තුළ දුක්ගන්නාරාළ චරිතයට ඇදගෙන සිටින නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනි රෝස් ප‍්‍රනාන්දු අශෝක්ට සහය වනු පිණිස මීගමුවේ සිට පැමිණ සිටියාය. කුරුණෑගල පොදු වෙළදපොළ භූමියෙන් ආරම්භ වූ ප‍්‍රවර්ධන වැඩසටහන නගරය පුරා දියත් කරමින් අශෝක්, පාලිත සහ රෝස් ඇතුලු පිරිස නගරය පුරා ඇවිදිමින් එජාප සාමාජික කාඩ්පත් බෙදා දෙන්නට වූහ. ඒ අතර මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ පවුලට අයත් කුරුණෑගල පැරකුම්බා වීදියේ පිහිටි තැබෑරුමට ගොඩවදින්නටද අශෝක් අමතක නොකළේය. එහි සේවකයින් අතට එජාප සාමාජික ප‍්‍රවර්ධන අත්පත‍්‍රිකා කිහිපයක් පත් කළ අශෝක් ‘‘ඔයාලා බය නැතුව මේවා ගන්න. මම මෙහාටත් ගොඩවුණා කියලා මන්ත‍්‍රීතුමාට කෝල් එකක් දීලා කියන්නම්. කොහොමත් එයා මගේ යාලුවනේ. ’’ යැයි කියූ අශෝක් නියෝජ්‍ය ඇමැති තෙවරප්පෙරුම සමග තැබෑරුමෙන් එළියට බැස්සේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 අගෝස්තු 04 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article