Saturday, January 18, 2025

අලි කරදර මුල් කරගෙන, පොල්පිතිගම අලි ජර මර !

Must read

දිගු කලක් තිස්සේ තමන් පීඩා විදිමින් සිටින වල් අලි ගැටඵවට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසට බලකරමින් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක ජනතාව ඊයේ ( 02 දා ) පොල්පිතිගමදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂණයට පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හක්වටුනාව , පාලගම , අගාරේ , තල්වැහැර , මකුල්පොත , නිකවැහැර , උතුරුවැල්ල , හෙනව , නක්වත්තාගම , දොඹගමුව , කට්ටම්බේරිය , කොස්ගහඇල , දිවුලගාල , මොරොත්ත සහ වැලිපිටිය ඇතුඵ ගම්මාන පහළොවක පමණ වෙසෙන පන්සියයකට ආසන්න ගම්වාසීහු පිරිසක් එක් වී සිටියහ.

වල් අලි තර්ජනයට විසදුමක් ලෙස විධිමත් අලි වැටක් ඉදිකරදෙන ලෙසට සහ වල් අලින් විසින් විනාශ කර ඇති වගාවන් සඳහා වන්දි ලබාදෙන ලෙසට උද්ඝෝෂකයින් විසින් මෙහිදී ඉල්ලා සිටි අතර ” ගොවි පුතුණු ජනපතිදුනි, අප රැක දෙනු නිතිනි ” , ” අලිය ද ගොවිය ද අංක එක ? ”, ”ඇමැතිතුමනි, ගොවියා රකිනු ” සහ ” අලිවැටට වෙන් වූ මුදල් කෝ ? ” ආදී විරෝධතා වැකි ලියූ
පුවරුද ප‍්‍රදර්ශණය කරමින් මෙම පිරිස පොල්පිතිගම ඔරලෝසු කණුව අසලදී විරෝධතාවයේ යෙදුණහ.

උද්ඝෝෂකයින් විසින් මඩගල්ල – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කිරීම හේතුවෙන් දැඩි වාහන තදබදයක්ද ඇති වූ අතර එම අවස්ථාවේදී එහි පැමිණි පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. එම්. බී. යූ. රත්නමලල මහතා විසින් මාර්ගය නිදහස් කරන මෙන් ඉල්ලා සිටි නමුත් ඊට අවනත නොවූ විරෝධතාකරුවන් එක හඩින් කියා සිටියේ රජයේ වගකිවයුතු නිලධාරියෙක් පැමිණ විදුලි වැට සහ වගා හානි වන්දි ලබාදීම පිළිබඳව ලිඛිත පොරොන්දුවක් දෙන තුරු තමන් මාර්ගයෙන් ඉවත් නොවන බවය. ඒ හේතුවෙන් වාහන තදබදය මගහැරවීම සදහා විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසියට සිදු විය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිපිතිගම ප‍්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.වනසිංහ මහතා උද්ඝෝෂකයින් අමතමින් පැවසූවේ අද (03 දා ) සිට වල් අලි එලවා දැමීමේ මෙහෙයුමක් දියත්කිරීමට සැලසුම් කර ඇති බවය. එමෙන්ම ප‍්‍රදේශයට බලපාන වල් අලි ගැටළුව පිළිබඳ සියළු වාර්තා තමන් මේ වනවිට අදාල වගකිව යුතු පාර්ශ්වයන් වෙත යොමු කොට ඇති බවත්, එමගින් වල් අලි ගැටඵවට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කර ඇති බවත්ය. කෙසේවතත් තමන්ට ඒ පිළිබඳව ලිඛිත පොරොන්දුවක් ලබාදීමට බලයක් නොමැති බව පැවසූ ප‍්‍රාදේශීය ලේකම්වරයා මාර්ගය අවහිර කොට උද්ඝෝෂණය කරනවා වෙනුවට වගකිව යුතු දේශපාලන නියෝජිතයෙක් වෙත මෙම ගැටළුව යොමු කිරීම වඩාත් ප‍්‍රතිඵලදායක බව විරෝධතාකරුවන්ට පැවසීය.

මෙහිදී හක්වටුනා ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරනායක මහතා පොල්පිතිගම ඔරලෝසු කණුව මතට නැගුනේ ලිඛිත පොරොන්දුවක් ලැබෙනතුරු මාරාන්තික උපවාසයක නිරත වන බව කියමිනි.

තත්වය දිගින් දිගටම නරක අතට හැරීම හේතුවෙන් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.වනසිංහ මහතා අදාළ ගැටඵව පිළිබඳව වයඹ පළාත් වනජීවී අධ්‍යක්‍ෂවරයා සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අද සිට වල් අලි පලවා හැරීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමට කටයුතු කළේය.

එම පොරොන්දුවත් සමඟ සිය විරෝධතාවය අවසන් කළ පොල්පිතිගම ප‍්‍රදේශවාසීහු සාමකාමීව විසිර ගියහ.

ඡායාරූප.
පොල්පිතිගම වීරරත්න බණ්ඩාර.

Polpithigamapro1 Polpithigamapro2 Polpithigamapro3 Polpithigamapro4 Polpithigamapro5 SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article