Saturday, January 18, 2025

“අපිව පැරැද්දුවේ මහින්ද.” ජයරත්න හේරත් අප්පච්චිගේ තරම කියයි.

Must read

-අපිව පරද්දන්න කුමන්ත‍්‍රණයක් දියත් වුණා.
-මහින්ද සැළකුවේ තෝරාගත් කිහිපදෙනෙකුට විතරයි.
-එයාගේ පවුලේ උදවියට දිනන්න දීලා මහින්ද කුරුණෑගලට ආවා. අපි පැරදුණා.
-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඉරණම අත් වුණේ මහින්දගේ ක‍්‍රියාමාර්ග නිසයි.
-පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කොන් කළා.
-එ ජා ප යෙන් පැනපු අයට හොද අමාත්‍යංශ දුන්නා.
-මහින්ද ආවා කියලා කුරුණෑගල ඡන්ද වැඩි වුනේ නෑ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පසුගිය මහ මැතිවරණයට තරග කිරීමට හැකි වූයේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකිව තිබූ බව කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද  (26 දා ) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය මහ මැතිවරණයේදී තමාට පරාජයවීමට සිදු වූ කරුණු පිළිබදව පැහැදිලි කිරීම සදහා අද දහවල් කුරුණෑගල , වදුරාගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී කැදවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයරත්න හේරත් මහතා මෙසේද කීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරපු මට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. මේ දිස්ත‍්‍රික්කයේ ඉන්න පැරණිම, ඒ වගේම පක්ෂය අත්නොහැර ගියපු මන්ත‍්‍රීවරයෙක් මම. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙක් තරග කිරීමත් එක්ක ඇතිවෙච්ච තත්වයත් එක්ක මට මේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීම බරපතල අසීරු තත්වයකට පත් වුණා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්තරා හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ පදිංචි වෙලා, ඔහුගේ කාර්යාලය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බවට පත්කරගෙන කටයුතු කරපු තත්වයක් උඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරපු අපිට අඩුපාඩුකම්, සහ ගැටඵ සහගත තත්වයන්වලට මුහුණ දෙන්නට සිදු වුණා. මේවා නිවැරදි කරන්න අපි උත්සාහ කළත් එවැනි තත්වයක් යටතේ අපිට ඒක නිවැරදි කරන්න පුඵවන් කමක් ලැබුණේ නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලට ආවයි කියලා අපිට දිස්ත‍්‍රික්කයේ ලොකු ප‍්‍රගතියක් අත්පත්කරගන්න පුඵවන් වුනෙත් නෑ. 2015 ජනාධිපතිවරණයේදී අපි වැඩි ඡන්ද අසූ දාහකින් මේ දිස්ත‍්‍රික්කය දිනුවා. නමුත් එතුමා කුරුණෑගලට ආවාට පස්සේ ඡන්ද 33000ක් තමයි දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කරන්න අපිට ලැබුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ගත්ත ක‍්‍රියාමාර්ග නිසා තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙන මේ ශෝචනීය තත්වයට ගොදුරු වුණේ. අපි 94 ආණ්ඩුව අරගෙන , කිසිම දේශපාලන පක්ෂයක් සමග කලවම් නොකර එක වැඩි ඡන්දයක් තියාගෙන අවුරුදු හයක් ආණ්ඩුව ගෙනිච්චා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාල සීමාව තුළ එතුමා අනවශ්‍ය විදිහට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පක්ෂය තුළට වැද්දගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් කොන් කරමින්, ඔවුන්ව නොසලකා හරිමින් , පක්ෂයට ආගන්තුක වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයින්ට වැඩි සැලකිලි දක්වමින් , ඔවුන්ට වඩාත් වැදගත් විෂය පථයන් සහිත අමාත්‍යංශ පවරාදෙමින් කළ කටයුතු නිසා සමස්ත රටේම ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දේශපාලන වශයෙන් හුදෙකලා වුණා. වනගතවෙන්නට සිද්ධ වුණා. ඒකේ අවසාන ප‍්‍රතිඵලය විදිහට අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් ගල් කරන්නට එතුමා සමත් වුණා.

පහුගිය මැතිවරණේදී ,වරක් දෙවරක් නෙවෙයි ඊට වැඩි අවස්ථා ගණනාවක් විශේෂිත අපේක්ෂිකයින් කිහිපදෙනෙක් තෝරාගෙන මහජන රැස්වීම්වල එතුමා ප‍්‍රසිද්ධියේ කියනවා මෙයා මට එන්න කියලා ආරාධනා කරපු මිනිහා, මෙයා මට කුරුණෑගලින් කන්න දෙන එක්කෙනා, මෙයා මට කුරුණෑගල නවාතැන් දෙන කෙනා, මෙයා මට සහය දෙන එක්කෙනා කියලා. එහෙම තෝරාගත් පිරිසකට ජනතාව ඉදිරියේ විශේෂ සැලකිල්ලක් දැක්වීම තුළ තමයි අපිට මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ බරපතල බෙදීම සමස්ත රටේම අඩු වැඩියෙන් දැකගන්න පු`ඵවන් වුනත් එහි උච්ඡතම අවස්ථාව තිබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළයි. ඒ සුනාමියට අහුචෙච්ච මිනිස්සු තමයි අපි.

පහුගිය කාලේ ඇතිවෙච්ච මේ වර්ගවාදී තත්වය නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් බහුතරයක් පරාජයට පත්වෙලා සන්ධානයේ සෙසු පක්ෂවල සාමාජිකයෝ තමයි අද මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරලා තියෙන්නේ. 2015 ජනාධිපතිවරණයේදී එතුමාට අපි කුරුණෑගලින් ඡන්ද 556868 ක් අරන් දෙනවා. හැබැයි එතුමා පාර්ලිමේන්තු මැතිවරණේදී කුරුණෑගලට ඇවිල්ලා , සක‍්‍රීය දායකත්වයත් දීලා ලැබෙන්නේ ඡන්ද 474127 යි. ඒ කියන්නේ එතුමා මෙහාට ඇවිල්ලත් ඡන්ද 82741 ක් අඩුයි. ඒකෙන්ම පැහැදිලියි එතුමා මෙහාට ආවා කියලා දේශපාලන වශයෙන් ලොකු ප‍්‍රගතියක් අත්පත්කරගන්න අපිට ලැබුණේ නෑ. අර කොත්තු රොටිය ගහනවා වගේ මේකේ තියෙන මනාප ටික එහාට මෙහාට බෙදලා , මහින්ද රාජපක්ෂ මැතිතුමාට පක්ෂග‍්‍රාහී, එතුමා වඩාත්ම ප‍්‍රියමනාප චරිතවලට මනාප ඡන්ද ලබාදීම සදහා එතුමාගේ මෙහෙයුම් කාර්යාලයෙන් ගෙනිච්ච ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙලත් එක්ක තමයි මේ තත්වය උද්ගත වුණේ. මේ ගැන අපිට ඉතාම කණගාටු වෙනවා.

මේ වර්ගවාදී ක‍්‍රියාකලාපය තුළ අපිට අත්චෙච්ච ඉරණම තමයි මේක. ඒ නිසා අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙච්චර කාලයක් තිස්සේ ඇතිවෙච්ච මේ සිද්ධින් ගැන නැවත මෙනෙහි කරලා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවන විදිහේ දේශපාලන තීන්දු ගත්තොත් හොදයි කියලා මම විශ්වාස කරනවා. මේ මැතිවරණයේදී අපි පරාජයට පත්වුණා නෙවෙයි, අපිව පරාජය කිරීම සදහා දේශපාලන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වුණා. සෑම දිස්ත‍්‍රික්කයකින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන් දේශපාලන භූමියෙන් අතු ගා දැමීම සදහා කුමන්ත‍්‍රණයක් දියත් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ උදවිය පරාජිත අය නෙවෙයි මේ පරාජය කරවපු අයයි. එහෙම පරාජය කරවපු අයව ජාතික ලැයිස්තුවෙන් ගත්තාය කියලා ඒකේ වරදක් මම දකින්නේ නෑ. මොකද මේ ගොල්ලෝ මහජනයා ප‍්‍රතික්ෂේප කළ අය නෙවෙයි. ඒ උදවිය පරාජය කරවීමේ කුමන්ත‍්‍රණය තුළ පරාජය වෙච්ච අයයි. මම හිතන්නේ කවුරුවත් ඒකට උරණ වෙන්නවත් , විරුද්ධ වෙන්නවත් හේතුවක් නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එතුමාගේ පවුලේ උදවියට නිරුපද්‍රිතව ජයග‍්‍රහණය කිරීමේ පසුබිම හදලා එතුමා කුරුණෑගලට ආවා. එතුමා කුරුණෑගලින් තරගකිරීම තුළ අපි පරාජයට පත් වුණා. හැබැයි එතුමාගේ පවුලේ සාමාජිකයෝ ටික කිසිම මතභේදයක් නැතිව මැතිවරණය ජයග‍්‍රහණය කරනවා. ඕක තමයි සත්‍ය තත්වය.

පහුගිය පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල සහ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පාර්ලෙමේන්තු මන්ත‍්‍රීවරු 16 දෙනෙක් ලියුමක් අත්සන් කරලා දුන්නා නාවින්න මහත්තයා මහ ඇමැති කරන්න කියලා. ඒ ලියුම අත්සන් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාට මමමයි භාරදුන්නේ. එහෙම වයඹ පළාතම නාවින්න ගේන්න කියද්දී තමයි දයාසිරි ජයසේකරව ගෙනාවේ. ඒකේ අවසන් ප‍්‍රතිඵලය වුණේ මොකක්ද ? මේ දිස්ත‍්‍රික්ක දෙකේම හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා එස්. බී. නාවින්න අවසානයේදී එක්සත් ජාතික පක්ෂයට ගියා. මේක තමයි අපිට පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ. ඒ තුළ තමයි මේ පක්ෂය දෙදරා යන්නේ. පක්ෂයේ උදවියට නොසැලකීමත්, පිටස්තරින් ආව ආගන්තුකයින් පිළිබද දැඩි විශ්වාසය පළ කරලා ඔවුන්ව ඉහළට ඔසවා තැබීමත් තමයි මේ මතභේද සියල්ලටම හේතුවෙලා තියෙන්නේ.
මම මේ ප‍්‍රකාශය මැතිවරණයට වෙලාවේ හෝ මැතිවරණය ආසන්නයේදී කළා නම් ඒක සන්ධානේ ජයග‍්‍රහණයට පඵද්දක් වෙයි , පරාජයට හේතුවක් වෙයි කියලා හිතලයි මම මේ ප‍්‍රකාශය නොකර හිටියේ. නමුත් මම මේක මෙහෙම වෙනවා කියලා මීට අවුරුදු දෙකකට කලින් මාධ්‍යටත් කියලා තියෙනවා.

පහුගිය මැතිවරණයේදීත් අනවශ්‍ය ප‍්‍රශ්න හදාගන්නේ නැතුව මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ තරග කරන්න පුඵවන් වුනා නම් අපිට මේක ජයග‍්‍රහණය කරන්න තිබුණා. ලෝක දේශපාලනයේ කිසිම නායකයෙක් ඒ තනතුරෙන් ඉවත්වෙලා යනකොට පක්ෂේ කෑලි කඩාගෙන ගිහින් නෑ. ඇමරිකාව ගත්තත් වාර දෙකයි. ඒ ගොල්ලෝ මහත්වරු විදිහට දේශපාලනයෙන් ඉවත් වෙනවා. හැබැයි මේ පූර්වාදර්ශය ආසියාවේ අනෙක් රටවල්වලටත් ගියොත් එක දේශපාලන පක්ෂයකවත් ඉතිරිවෙන එකක් නෑ. යැයි පැවසීය.

අජන්ත බණ්ඩාර රත්නායක

8/25/2015 10:56 PM

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article