Sunday, January 19, 2025

වයඹ සෞඛ්‍ය මුල් පුටුවේ – ගහපු ගැහිලි හෙළි වේ!

Must read

pd_helth_piyumalකිසිදු ධාවන කටයුත්තක් සදහා යොදානොගෙන 2014 වර්ෂය පුරාම නිශ්ක‍්‍රීයව පැවැති වාහනයක් සදහා තමන් විසින්ම සකස් කළ ධාවන සටහන් ඉදිරිපත් කිරීමෙන් වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක එන්. ෆරීඞ් මහතා විසින් ඉන්ධන වියදම් ලෙස රුපියල් ලක්ෂ ගණනක මුදලක් වයඹ පළාත් සභාවෙන් වංචා සංහගත ලෙස ලබාගෙන ඇති බවට විගණන විමසුමකින් හෙළි වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා අනාවරණය කළේය.

මන්ත‍්‍රීවරයා මෙම අනාවරණය කළේ පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පියුමාල් හේරත් මහතා මෙසේද කීය.

‘‘වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක එන්. ෆරීඞ් මැතිතුමා පිළිබදව අද වෙන විට තියෙන්නේ ඉතාම ශෝචනීය තත්වයක්. අද වෙනකොට විගණන විමසුම් ගණනාවකින් එතුමාගේ ක‍්‍රියාකලාපය ප‍්‍රශ්න කරලා තියෙනවා. කුරුණෑගල සහකාර විගණකාධිපති කාර්යාලයෙන් 2015 අපේ‍්‍රල් 22 වැනිදා වයඹ ප‍්‍රධාන ලේකම්වරයා වෙත යවන විගණන විමසුමක ( ඇ) වගන්තියට අනුව වැඩබලන පළාත් සෞඛ්‍ය අධ්‍ය්‍යක්ෂකවරයා දෙපාර්තමේන්තු සංචිතයට අයත් පී. ඊ. 4143 දරණ වාහනයේ ඉන්ධන වෙනුවෙන් රුපියල් හාර ලක්ෂයකට අධික මුදලක් අනුමත සීමාව ඉක්මවලා වැය කරලා තියෙන බව අනාවරණය කරලා තියෙනවා. මේ වාහනය පාවිච්චි කරන අතරේදීම එතුමාගේ පුද්ගලික පරිහරණයට කියලා එන්. ඩබ්ලිව්. කේ. යූ. 4743 කියලා තවත් වාහනයක් පාවිච්චි කරලා තියෙනවා කියලා එම විගණන විමසුමෙන්ම හෙළි කරනවා.

වෛද්‍ය එන්. ෆරීඞ් මැතිතුමා විසින් සිය පාවිච්චි කරමින් ඉන්නේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කියලයි. නමුත් එතුමාගේ සුදුසුකම් නිසිපරිදි සම්පූර්ණ වෙලා නැති නිසා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා විසින් 2014 ජූනි මාසයේදී එතුමාට පත්වීමක් ලබලා දීලා තියෙන්නේ වැඩබලන පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විදිහටයි.

එහෙම තනතුරට පත්වෙලා ආව මෙතුමා 2014 වසරේදී තමන්ගේ නිල වාහනේ කියලා කියන එන්. ඩබ්ලිව්. කේ. යූ. 4743 දරණ වාහනයට ධාවන සටහන් ලියනවා. මේවාට අත්සන් කරන්නෙත් ෆරීඞ් මැතිතුමාමයි. මේ තියෙන්නේ එතුමාගේ අත් අකුරින් ලියවිච්ච ධාවන සටහන් ( සභාවට ප‍්‍රදර්ශණය කරයි ) ඒ අනුව 2014 ජූනි මාසයේ ඉදලා දෙසැම්බර් මාසය දක්වා මාස හයක කාලයකට එතුමාම ධාවන සටහන් ලියලා තියෙනවා. මේ හැම මාසයකම එතුමා කිලෝමීටර් දහස පැනලා දුවලා තියෙනවා. ඒ අනුව දින හතලිස් හතරක් තුළදී පමණක් එතුමා කිලෝමීටර් 8270 ක් දුවලා තියෙනවා. එහෙම බැලූවාම එක දවසකදී මෙතුමා කිලෝමීටර් 187. 95 ක් දුවලා තියෙනවා. ඒ විදිහට කිලෝමීටර් එක්දාස් ගණන් සතියට දිව්වා කියලා එතුමාම ධාවන සටහන් ලියාගෙන, එතුමාම අත්සන් දාගෙන ඉන්ධන ලීටර් එකසිය හතලිහකට අදාල මුදල එතුමා අරන් තියෙනවා. හොරු. තනිකරම හොරු. ඇයි මම හොරු කියලා කියන්නේ. මොකක්ද විගණන විමසුමේ තියෙන්නේ ? ‘‘එන්. ඩබ්ලිව්. කේ. යූ. 4743 දරන මෝටර් රථය ධාවනය කළ බවට කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොවුන අතර එම වාහනය වර්ෂය පුරාම නිශ්ක‍්‍රීයව පැවැති බව නිරීක්ෂණය කෙරේ.’’ ( විගණන විමසුම සභාවට පෙන්වයි)

මේ විදිහට ගමන් ගියාය කියලා බොරු සටහන් පළාත් සභාවට ඉදිරිපත් කරලා එක වාහනයක් පෙන්නලා සල්ලි ගන්නකොට අනිත් පැත්තට ඒ විගණන විමසුමෙන් හෙළි කරනවා දෙපාර්තමේන්තුවට අයත් පී. ඊ. 4143 දරණ වාහනයට රුපියල් හාර ලක්ෂ අටදහස් හයසිට හැට හතක් හෙවත් ලීටර් 2566 සීමාව ඉක්මවා ලබාගනිමින් ඒ වාහනයත් දුවලා තියෙනවා කියලා.දැන් මම අහන්නේ පී. ඊ. 4143ත් දුවමින් කේ. යූ. 4743ත් දුවන්නේ කොහොමද ? එහෙම නම් එක්කෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සියලූ කෘත්‍යයන් වාහනේ ඇතුලෙම වෙන්න ඕනෑ. එහෙම නැත්නම් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ නිවුන් සහෝදරයෙක්වත් ඉන්න ඕනෑ. මේ දෙකෙන් එකක් වෙන්න එපැයි. මොකද මේ වාහන දෙකෙන්ම ගමන් ගියා කියලයි වැඩබලන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියන්නේ. මම අහන්නේ තමන්ම අත්සන් කරපු ලේඛන පෙන්නලා වාහන දෙකක් එකවර පාවිච්චි කළා කියලා මේ විදිහට සල්ලි ගන්න ලැජ්ජා නැද්ද ? ලැජ්ජාව කැපුවත් මෙයාට යුතුකමක් නැහැ දෙපාර්තමේන්තු සංචිතයේ තියෙන වාහන මේ විදිහට පාවිච්චි කළා කියලා කියන්න. මේවට කියන්නේ හොරකම්. මේ වගේ හොරු වයඹ පළාත් සභාව ඇතුළේ තවදුරටත් තියාගන්නවාද කියන එක අපි තීරණය කළ යුතුයි.

ඒ විගණන විමසුමේ එක තැනක සදහන් කරලා තියෙනවා මෙතුමාට රියදුරෝ දෙන්නෙක් අනුයුක්ත කරලා හිටියා කියලා. ඒ එක රියදුරෙක් ගැන විගණන විමසුමේ මෙහෙම කියනවා. ‘‘පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය මත මුන්දලම රෝහලේ ගිලන් රථ රියදුරු වන ජේ. ටී. සෝමචන්ද්‍ර මහතා රාජකාරී දිනයන්හි දිවා කාලයේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ රියදුරු වශයෙන් සේවයේ යොදවාගෙන තිබූ අතර රාත‍්‍රී කාලයේදී මුන්දලම රෝහලේ ගිලන් රථ සේවයේ යොදවාගෙන තිබුණි. ඒ අනුව ඔහු සතියේ වැඩකරන සෑම දිනයක් සදහාම සංයුක්ත දීමනා සහ අතිකාල දීමනා ගෙවා තිබිණි. රියදුරෙකු සතියේ දින 05 ම දිවා රාත‍්‍රී පැය 24ම සේවයේ යෙදවීම පිළිගත නොහැකි බව විගණනයේදී නිරීක්ෂණය කෙරේ. ’’ ( විගණන විමසුම සභාවට ප‍්‍රදර්ශණය කරයි)
හැබැයි මම කියනවා මේ කතාව හරි කියලා. මොකද මේ සෝමචන්ද්‍ර කියන පුද්ගලයා වැඩබලන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ රියදුරු නම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍ය්‍යක්ෂක ජීවත්වෙලා තියෙන්නේ වාහනේ නම් මං කියනවා මේ රියදුරු ජීවත්වෙලා තියෙන්නෙත් වාහනේ ඇතුළෙම තමයි.

සතියක් ඇතුළත පිළිතුරු දෙන්න කියලා 2015 අපේ‍්‍රල් මාසයේදී වයඹ පළාත් සභාවට ආපු මේ විගණන විමසුමට අද වෙනකම් පිළිතුරු දෙන්නේ නැත්තේ ඇයි කියලා අද මම අහනවා. මේ විගණන විමසුමෙන් හෙළිවෙන කරුණු අනුව පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍ය්‍යක්ෂවරයා පිළිබදව කටයුතු කෙරෙන්නේ නැත්තේ ඇයි ? මේවා මහ දවල් කරන හොරකම්. මේවා දූෂණ පමණක් නෙවෙයි රටේ සාමාන්‍ය නීතියට අනුව බරපතල වැරදි. ඒ නිසා මේවා නීතිය ඉදිරියටත් ගෙනියන්න අවශ්‍යයි.

පියුමාල් හේරත් මහතාගේ ප‍්‍රකාශය පිළිබදව අදහස් දැක් වූ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා මෙසේ පැවසීය.
‘‘වැරදි කරන කිසිම නිලධාරීයෙක් ආරක්ෂා කරන්න මට උවමනා නෑ. මේ කියන නිලධාරීයා වැරුද්දක් කරලා තියෙනවා නම් විනය පටිපාටියට අනුව ඔහු පිළිබදව අනිවාර්යෙන්ම කටයුතු කරනවා.’’

පියුමාල් හේරත් මහතාගේ චෝදනාව පිළිබදව විමසීමට පසුගිය සතියේ දින කිහිපයකදීම වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍ය්‍යක්ෂක එන්. ෆරීඞ් මහතාගේ කාර්යාලීයිය දුරකථනයට ඇමැතුම් ලබා ගත් නමුත් ඊට පිළිතුරු දුන් අයවඵන් විසින් අධ්‍යක්ෂවරයා කාර්යාලයෙන් බැහැරව ඇති බවට සහ ඔහු රැස්වීමක පසුවන බවට එම අවස්ථාවන්හිදී ප‍්‍රකාශකිරීම හේතුවෙන් සහ ෆරීඞ් මහතාගේ ජංගම දුරකථන අංකයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article